හිතුවක්කාර අන්දමින් සම්මත කරගන්න හැදුවොත් කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව සමස්ත ජනතාව සමඟ පාරට බසිනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

95

රජය හිතුවක්කාර ලෙස විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර හෝ යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කර ගැනීමට උත්සාහ කරන්නේ නම් විද්වත් මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල ප‍්‍රජාව, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්‍ෂ හා මෙරට සමස්ත ජනතාව ඒකරාශී කරගනිමින් රජයේ එම උත්සාහය පරාජය කිරීමට සමගි ජන බලවේගය අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
 
 කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනය ගැන කරුණු දක්වමින් පේ‍්‍රමදාස මහතා නිකුත්කර ඇති නිවේදනයෙහි මේ බව දැක්වේ.
 
 එහි මෙසේද සඳහන් කර තිබේ.
 
 කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය 1981 වර්ෂයේ සිට මෙරට කැඩෙට් නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන බව මේ රටේ සියලූ දෙනාම දන්නා කරුණකි. එමෙන්ම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගනිමින් මෙරට ආරක්‍ෂක අංශ සඳහා වඩාත් නවීන හා විද්‍යානුකූල පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව අප ඉතසිතින් අනුමත කරන අතර ඒ සඳහා අපගේ උපරිම සහයෝගය දක්වා සිටිමු.
 
 එනමුත් යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මගින්,
 
 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කරමින් යෝජිත විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පාලනයෙන් හා පවතින නීතිමය රාමුවෙන් බැහැරව පිහිටුවීමට උත්සාහ කිරීම.
 
 විශ්ව දැනුම් සම්භාරයකින් හෙබි කමිටු හා කණ්ඩායම්වලින් සමන්විත තීරණ ගැනීමේ හා අධ්‍යයන ව්‍යුහයක් යෝජිත විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කිරීමට අසමත් වීම.
 
 විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, පීඨාධිපතිවරුන් හා වෙනත් නිලධාරීන් පත්කිරීම හා පාඨමාලා පිළිබඳ තීරණ ගැනීමේ අධිකාරය විශ්වවිද්‍යාලයෙන් බැහැරකොට අධිපතිවාදී ව්‍යුහයකට නතු කිරීම.
 
 යෝජිත විශ්වවිද්‍යාලයෙහි පාඨමාලාවන්හි ගුණාත්මක භාවය ඇගයීම හා පවත්වාගෙන යාම පිළිබඳ නිසි ප‍්‍රමිතිකරණ ක‍්‍රමවේදයක් හා ව්‍යුහයක් එය තුළ ස්ථාපිත කර නොමැති වීම.
 
 වෙනත් ප‍්‍රාදේශීය පාසල්වලට, අධ්‍යාපන ආයතනවලට හා පුහුණු ආයතනවලට උපාධි පිරිනැමීමේ බලය ලබාදීම යෝජිත විශ්වවිද්‍යාලය වෙත පවරාදීම යනාදී කරුණු මත පදනම්ව එම පනතට අපගේ විරුද්ධත්වය ප‍්‍රකාශ කර සිටිමු.
 
 යෝජිත පනත මගින් මෙරට නිදහස් අධ්‍යාපන ව්‍යුහයට සහ එහි පැවැත්මට මරුපහරක් එල්ල කරන බව අප මෙහිදී නැවතත් අවධාරණය කර සිටිමු. එබැවින් ජනාධිපතිතුමාට අප බලකොට කියාසිටිනුයේ මෙම යෝජිත කොලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත වහාම හකුලාගන්නා ලෙසය.
 
 ජුලි මස 16 වන දින බෞද්ධ උපදේශන සභාව හමුවේ අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇත්තේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙහි කොටස් සංශෝධනය කොට හෝ යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්නා බවයි. මෙවැනි ජනතා විරෝධි අරමුණු ඉටුකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප‍්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිතුමාට උදක්ම දන්වා සිටීමට අපි කැමැත්තෙමු. එමෙන්ම විධිමත් සාකච්ඡුාවකින් හා සම්මුතියකින් තොරව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යෑමෙන් මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දැඩි අර්බුදකාරී බවකට තල්ලූ වී යා හැකි බවද වගකිව යුතු විපක්‍ෂයක් වශයෙන් අප මතක්කර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment