හිතුවක්කාර ක්‍රීඩා සංගම් කීපයකට රතු එළි දල්වා තිබෙනවා

301

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග

ඒකාධිපති ස්වභාවයෙන් තීන්දු තීරණ ගන්නා රටේ ඇතැම් ක්‍රීඩා සංගම් කීපයකට එසේ හිතුවක්කාරීව කටයුතු සිදු නොකරන ලෙස අවසාන දැනුම් දීම ද සිදු කර ඇති බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ (24 වැනිදා) ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රගති සමාලෝචන රුස්වීමේදී ප්‍රකාශ කළේය.

පණ්ඩිත කතා කියන එවැනි සංගම්වල නිලධාරීන් සිතාගෙන සිටින්නේ තමන් යටතේ සිටින ක්‍රීඩකයන් තමන් විසින් ගොඩනඟන ලද බූදලයක් ලෙස බවත් එහෙත් එම ක්‍රීඩකයන් මෙරට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් ක්‍රීඩාව මත ගොඩනැඟුණු රටේ සම්පත් බව එම නිලධාරීන් වටහාගත යුතු බවද රණතුංග මහතා පැවසීය.

මේ ක්‍රීඩකයන් පිළිබඳ රටටද අයිතියක් ඇති බවත් ඔවුන් රැක ගැනීමත් ඔවුන් වෙනුවෙන් හිමිවන මුදල් සහ ඔවුනගේ දස්කම් නිසා හිමිවන මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමත් නිවැරදි ක්‍රමවේදයක් මත සිදු විය යුතු බව ද රණතුංග මහතා කීය.

ක්‍රීඩා සංගම්වල මුදල්වලින් නිලධාරීන් විදේශ සංචාරවලට යන්නේ අත්‍යවශ්‍යම කාරණාවලට පමණක් දැයි නිරන්තර සෝදිසියෙන් සිටිනා බවත් රටේ මුදල් නාස්ති කරමින් නිලධාරීන් විනෝද සවාරි සඳහා පිටරට යෑම ජාතික ක්‍රීඩා සභාව තදින් ප්‍රතික්ෂේප කරන බව ද රණතුංග මහතා පැවසීය.

ජාතික තේරීම් කමිටුවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පිළිබඳව පැහැදීමක් නැති බවත් ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවීම ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ජාතික ක්‍රීඩා සභාවේ වරදක් නොවන බවත් රණතුංග මහතා සඳහන් කළේය.

ජාතික තේරීම් කමිටුව සහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටු අතර සහසම්බන්ධයක් නොමැති වීම නිසා අලුත් ක්‍රිකට් තේරීම් කමිටුවක් සඳහා නම් 10ක් යෝජනා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවත් එහෙත් තවමත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද රණතුංග මහතා පැවසීය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ඕනෑම අයකු ඒ සඳහා යෝජනා කළ හැකි බවත් අනතුරුව සුදුසු තේරීම් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවද රණතුංග මහතා පැවසීය.

විදේශ තරගාවලි සඳහා සහභාගි වන ක්‍රීඩකයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවත් මේ තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විදෙස් තරගාවලි සඳහා සහභාගි වීමේදී වීසා ලබා ගැනීමද

ගැටලුවක් වනු ඇති බව රණතුංග මහතා සඳහන් කළේය.

ක්‍රීඩා සංගම් 60න් නම් එව්වේ ක්‍රීඩා සංගම් 20 යි

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි

මෙරට ක්‍රීඩාව වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනකු පමණ මේ වන විට තෝරාගෙන ඔවුන් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණයට ලක්කර ඒ අය සඳහා මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරමින් තිබෙන බව ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ඒ යටතේ පළමු කාණ්ඩය ලෙස වර්ගීකරණයට ලක්ව ඇති ක්‍රීඩකයන් වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂයක මුදලක් ද, දෙවැනි කාණ්ඩය යටතේ සිටින ක්‍රීඩකයන් වෙනුවෙන් මාසෙකට රුපියල් 75,000 ක මුදලක්ද, තෙවැනි කාණ්ඩයේ ක්‍රීඩකයන්ට රුපියල් 50000ක් ද, සිව් වන කාණ්ඩයේ ක්‍රීඩකයන්ට රුපියල් 25000ක මුදලක් ද ලබාදෙන බව ඒ මහතා පැවසීය.

ඒ සඳහා ක්‍රීඩකයන් නම් කර එවන ලෙස ක්‍රීඩා සංගම් 60කට දැනුම් දුන්නද ඒ සඳහා නියමිත ආකෘතිය අනුව ක්‍රීඩකයන් නම් කර එවා තිබුණේ ක්‍රීඩා සංගම් 20ක් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.

2023 වසර සඳහා රුපියල් බිලියන 4.2ක්

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

රට මෙතරම් ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දී තිබියදීත් ක්‍රීඩාව වෙනුවෙන් 2023 වසර සඳහා රුපියල් බිලියන 4.2ක මුදලක් ලබාදීමට කටයුතු කළ ජනාධිපති, අගමැති ක්‍රීඩා ඇමැති සහ ක්‍රීඩා රාජ්‍ය ඇමැතිවරයාට ස්තුතිවන්ත විය යුතු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

රග්බි ජාතික කණ්ඩායම පසුගිය ආසියානු තරගාවලියට ජාතික ධජය නොමැතිව සම්බන්ධවීම කනගාටුවට කරුණක් බවත් රග්බි පිළිබඳ ප්‍රශ්නය තිබෙන්නේ එහි සභාපති ඉල්ලියාස් මහතා සම්බන්ධයෙන් මිස මෙරට රග්බි ක්‍රීඩාවට හෝ රග්බි සම්මේලනයට නොවන බවද අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ, ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment