හිතෝපදේශය

1381

2019 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 1890 කි. මෙය ඩොලර්වලින් ගත් කල බිලියන 10.4 ක් වෙයි. එම අවුරුද්දේම සමස්ත වියදම රුපියල් බිලියන 2915 කි. එනම් ඩොලර් බිලියන 16 කි. අපේ රටේ තත්ත්වය මේ ආදායම් වලින් සහ වියදම් වලින්ම බලාගත හැකිය. 1948 නිදහස ලැබීමෙන් පසු ගතවූ මුල් අවුරුදු කීපය හැර එතැන් පටන් ඉදිරියට ගතවූ හැම කාලයකදීම ලංකාවේ අය වැය හිඟය වැඩි විය. හැම මිනිහෙක්ම තමන්ට ලැබෙන මුදලට වැඩි මුදලක් වියදම් කළේය. සමස්තයක් වශයෙන් ගත් කල ඔවුන් ඒ වැඩි වියදම දරා ගත්තේ කාගෙන් හෝ ණයට ගැනීමෙනි. ගම මට්ටමින් ගත් කල එසේ ණය දෙන්නා සාම්ප්‍රදායික පොලීකරුවා විය. නැත්නම් ග්‍රාම සංවර්ධන සමිතියේ ණය දෙන අංශය විය. නගර මට්ටමේදී බැංකු වලින්, ණය දෙන ආයතන වලින්, උගස් බඩු කඩ වලින් ණය ලබා ගැනීමට හැකිවිය. ඒ අතර ලංකාවද වෙනත් රටවල ණය දෙන ආයතන වලින්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ බැඳුම්කර වලින් ණය ගත්තේය. ණයට කෑම යනු ඉතා ලොකු ෆන් එකක් දෙන වැඩකි. ණයට ගන්නා මොහොතේදී ඇතැම් ණය ගැතියන් ප්‍රාර්ථනා කරන්නේ ණයට ගත් මුදල ඉවර වෙනවාත් සමගම ලෝක විනාශයක් සිදුවිය යුතු බවය. එවිට ණය ගැතියා මෙන්ම ණය හිමියා ද වාෂ්ප වී යති. නොඑසේ නම් ණය ගැතියා නිතරම අපේක්ෂා කරන්නේ ණය හිමියාගේ මරණ දැන්වීම හෙට උදේ පත්තරේ තිබෙන බවයි. එහෙත් ලෝක විනාශයක් ඇති වන්නේත් නැත; ණය හිමියා මිය යන්නේත් නැත; මේ දෙකම ඒ ආකාර නම් ණය ගැතියාට ඉතිරි වන්නේ ණය ගෙවීම පමණි. එය කරන්නේ කොහොමද?

රටක් වශයෙන් ගත් කල ණය ගැති භාවය අඩු කිරීමට කළ යුතු දේ කිහිපයක් තිබේ. මුලින්ම කළ යුතුව ඇත්තේ ඔයරසඓ හෙවත් අරපිරිමැස්මෙන් කටයුතු කිරීමය. මෙහිදී ගෙදර පත්තු කරන බල්බ් 10 බල්බ් 5 ට බැස්සිය හැකිය. ත්‍රිරෝද රියේ යන කෙටි ගමන් පා පැදියෙන් හෝ දෙපයෙන් යෑමට හැකිය. මාළු කෑලි දෙකක් කන එකා මාළු කෑලි එකක් කෑ යුතුය. මේ රටේ ඇතැම් මිනිස්සු සෑම ආහාර වේලක්ම ගන්නේ එය ජීවිතයේ අවසන් ආහාර වේල බව මෙනෙහි කරමිනි. ඒ නිසා කාගෙන් හෝ ණයට මුදලක් ගෙන, එහෙමත් නැත්නම් අතේ තියෙන සියල්ල වැය කර චිකන්, මාළු, එළවළු ජාති කිහිපයක් බැදුමක් සමග කීරි සම්බා බත් කන්දක් ගිල දමා කෝපි එකකුත් බීමට ඔවුහු කැමැත්තාහ. අප ජාතියක් වශයෙන් ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනයක් කරනවා නම් මේ ජාතියේ බත් පිඟන් දෙකක් කා කෝපි දෙකක් බිව්වත් ප්‍රශ්නයක් නොවේ. අද අප ඉන්නේ ආර්ථික අගාධයේ අන්තිම තැනය. ජූලි අගෝස්තු මාස වන විට රට වැසියන්ට කන්නවත් දෙයක් නැති වෙතැයි පුරෝකථන පහළ වී තිබේ. මෙයින් කියවෙන්නේ කන්න නැතිව මිනිසුන් මැරි මැරී වැටෙන සාගත තත්ත්වයක් පහළ වන බව නොවේ. වෙනදා තුන්වේලම බඩ පැලෙන තෙක් ආහාර ගිල දැමූ ජනයාට වේල් දෙකක් හෝ එකක් ගිල දමා බඩ ඇලෙන තත්ත්වයක් හටගන්නා බවය. විදේශීය ආයෝජන නැතුව මේ රට දියුණු කරන්නට බැරිය. රුසියාව ලාබෙට සහ ණයට තෙල් දෙද්දීත් ලංකාව එම පහසුකම ලබා නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති. ආණ්ඩුව රුසියාවෙන් තෙල් ගත්තොත් ඇමරිකාව සහ යුරෝපය රුසියාව සමග තිබෙන බද්ද වෛරය අප පිටින් යවා ජී එස් පී ප්ලස් සහනය ද අත්හිටුවනවා ඇත. එවිට රටේ ඉතිරිව තිබෙන ඉතිරි ගාමන්ට් ෆැක්ටරි තුන් හාරසීයත් වැහී අප හිඟමනටම පත්වීම නියතයකි. මේ ආර්ථිකය කිසිදු දියුණුවක් නොලබා මේ ආකාරයෙන්ම තිබුණොත් තව මාස 6 කට පසු අපට දැකගන්නට ලැබෙනු ඇත්තේ හෝටල් අසල තිබෙන ඉඳුල් කුණු බාල්දි අවුස්සා කන මහත්වරුය. ලංකාව සේම අධික උද්ධමනයකින් පීඩා විඳින වෙනිසියුලාවේද කුණු බාල්දි අවුස්සා කන නෝනලා සහ මහත්වරු අදටත් ඕනෑ තරම් සිටිති. චීනයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව සර්පයන්, මීයන්, කැරපොත්තන් සහ හැකරැල්ලන් අනුභව කරති. ඔවුන් එය පුරුදු වූයේ 20 වන ශතවර්ෂය මුලදී ඒ රටේ හටගත් භයානක ආහාර හිඟයක් නිසාය. මේ පුරුද්ද පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් අද වන විට චීන සමාජය තුළ තැන්පත් වී ඇත. මේ අනුව අද ඩෙවල් කළ නයෙක් චීන අවන්හලක් තුළදී ප්‍රනීත කෑමක් බවට පත්ව තිබේ. චීනයේ පැවති ආහාර හිඟය හා සමාන ආහාර හිඟයන්ට මුහුණ දී සිටින ඇතැම් අප්‍රිකානු රටක බැදපු කැරපොත්තන් දීසියක් ඩොලර් එකකි. ආයෝජකයෝ ශ්‍රී ලංකාවට එන්නට නොකැමැත්තාහ. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවත් ස්ථාවර දේශපාලනයක් නැති බවත් වෘත්තීය සමිති ප්‍රශ්න වැඩි බවත් ජනතාව වැඩ කරනවාට වඩා වැඩ වර්ජනය කිරීමට කැමති බවත් යුරෝපීය ආයෝජකයන්ගේ පිළිගැනීම වී ඇත. මේ නිසා ස්වකීය ආයෝජන ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය, නේපාලය වැනි රටවලට පොම්ප කොට ඒවායෙහි කර්මාන්තශාලා පටන්ගෙන පවත්වාගෙන යෑමට ආයෝජකයෝ කැමති වෙති. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හල් පවත්වාගෙන ගිය ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් පවා ස්වකීය ව්‍යාපාර බංගලාදේශයට ගෙන ගොස් තිබේ. ඒ නිසා ලංකාවේ රැකියා හිඟය වර්ධනය වී ෆැක්ටරි වැහෙන්නට පටන්ගෙන ඇත. ශ්‍රී ලංකාව Investor Friendly හෙවත් ආයෝජක හිතැති රටක් බවට පත් කළොත් දැනට තිබෙන ප්‍රශ්නවලින් සෑහෙන තරම් ගොඩඑන්නට අවස්ථාවක් අපට ලැබෙනවා ඇත. එහෙත් අපේ රටේ ජනතාව භුක්ති විඳින තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එවැන්නක් සිදුවීමට කවදාවත් ඉඩක් නැත. දෛවය අපට නියම කර ඇත්තේ අනාගතයේදී කුණු බක්කි කෑමටය.

advertistmentadvertistment
advertistmentadvertistment