හිමියන්ගේ ගිණුමට වැටුණු කෝටි 6 ගැන විමර්ශන – රාජාංගණයේ සද්ධාරතන හිමි 21 දක්වා රිමාන්ඩ්

872

හාමුදුරුවන් දිනකට සිසුන් 342කට දිවා ආහාරය දෙනවා – විත්තියේ නීතිඥ

ජාතික හා ආගමික සංහිඳියාවට හානිකරන ආකාරයෙන් ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රාජාංගණේ සද්ධාරතන හිමියන් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07) නියෝග කළේය.

සැකකාර හිමිපාණන් වහන්සේගේ බැංකු ගිණුමට පසුගිය කාලයේ දී සැකසහිත ආකාරයෙන් රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් සිදු කරන බවත් කියමින් විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

උන්වහන්සේට එම මුදල් ලැබී ඇත්තේ එංගලන්තයේ ජීවත්වන අයෙකුගෙන් බවත් එකී මුදල් උපයෝගි කරගෙන එම පරිත්‍යාගශිලියාගේ ඉල්ලීම පරිදි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගෙන විශාල ධර්ම ශාලාවක්, දහම් පාසල් ගොඩනැඟිල්ලක් ඇතුළු විහාරස්ථානයට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් සැකකාර භික්‍ෂුන් වහන්සේ දිනකට දහම් පාසල් සිසු සිසුවියන් 342 දෙනකුට දිවා ආහාරය නොමිලේ ලබාදෙන බවත් නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැක්වූ එම කරුණුවලට පිළිතුරු ලබාදෙමින් අධිකරණයට පැවසීය. එපමණක් නොව උන්වහන්සේගේ ප්‍රදේශයේ පදිංචි ඕනෑම ජාතියකට හා ආගමකට අයත් පවුලක අවමංගල්‍යයක් සිදුවුවහොත් රුපියල් හැත්තෑ දහසක මුදලක් ලබාදෙමින් ප්‍රදේශයේ ආගමික හා ජාතික සහජීවනය නඟා සිටුවීමට වෙරදරනා අයකු වන්නේ යැයිද අධිකරණයට පැවැසූ නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා උන්වහන්සේ සමාජයේ වැරදි දුටුවිට ඒවා හෙළා දකින භාෂාව හා භාෂා ශෛලය රළුවූ පමණින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය වැනි ඉතා බරපතළ පනතක් යටතේ කටයුතු කිරීම යුක්තිසහගත නොවනා බවත් පැවසීය.

කෙනෙකුගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය එලෙස එවැනි බරපතළ පනතකින් සීමා කිරීමට උත්සාහ දරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරකී පනත එම දෙපාර්තමේන්තුව අවභාවිතය කරන්නේ යැයිද අධිකරණයට පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගැනීම සඳහා ප්‍රධාන කරුණු හයක් සපුරාලීම කළ යුතු වුවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ කෙරෙහි කිසිදු තැකීමක් නොකොට කටයුතු කර ඇති බවත් නීතීඥ ලසන්ත මනෝජ් නානායක්කාර මහතා සමග පෙනී සිටිමින් නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා අධිකරණයට පැවසීය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනාරත්න මහතා කරුණු දක්වමින් විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකාර හිමියන් ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් වියහැකි බව පෙන්වා දුන්නේය.

ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 14 වැනි දින හෝ ඊට පෙර ගොනු කරනා ලෙසට සැකකරුගේ නීතිඥවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රතිවිරෝධතා ඇත්නම් ලබන 21 වැනි දිනට පෙර ලිඛිතව ගොනු කරනා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment