හිමි වුණොත් සිනාසෙමි නැති වුණොත් දරාගමි

290

හන්තාන කඳු මුදුනත්, රීඩ් මාවතත් දිගේ අත්පටලන් ගිය කර්කෂ වගේ ම සුන්දර ආදර කතා කොතෙක්නම් ඇත් ද? ඒ බොහොමයක් ආදර කතාවල අවසානය සිනහව ම නොවූ නමුත් මහවැලිය පුරවන්නට තරම් කඳුළු ගංගාවක් වන්නට ද ඇත. ආදරය, ප්‍රේමය වැනි මාතෘකාවල සරසවි ලේබලය වැදුණු පමණින් සමාජය එය අර්ථකථනය කරනු ලබන ස්වරයෙහි අඩුලුහුඬුකම් රැසක් පසුගියදා කලඑළි බසින්නට විය. ඒ කොළඹ තුරඟ තරගපිටිය දෙසින් දකින්නටත් අසන්නටත් ලැබුණු මරණීය අවසානයකින් කෙළවර වූ කතාවකි. සැබවින්ම එයට ආදර කතාවක්, ප්‍රේම සම්බන්ධයක් යන වචනයන් කෙතරම් උචිත වන්නේ දැයි එකී කතාවෙහි ආරම්භයට වඩා අවසානය දකින කොයිකාටත් පැහැදිලි වන සත්‍යයකි.

වර්තමාන තාරුණ්‍යය ආදරය, ප්‍රේමය විෂයෙහි දක්වන පටු සීමාව මේ වන විටත් බොහෝ දුර උඩුගම් බලා ගොස් ය. සාම්ප්‍රදායික ප්‍රේමය සහ නූතන ප්‍රේමයෙහි හැඟීම් සිතුවිලි සහ චර්යාමය පද්ධතිය සමස්තයක් වශයෙන් උඩු යටිකුරු වී තිබේ. ආදරය, ප්‍රේමය හැඟීම් සිතුවිලි සමුදායක් වශයෙන් ලඝු කරන්නට උත්සාහ කළ ද එය හදවත් දෙකක සැහැල්ලු, නිදහස් ගමනකි. එම ගමන කෙතරම් නිදහසක් සැහැල්ලුවක් දෙපාර්ශ්වයට ම අත්කර දෙන්නේ ද? ඒ තරමට ම ලැබෙන මානසික උත්තේජනය ප්‍රේමයෙහි ආදරයෙහි වචනාර්ථය ම අරුත් ගන්වයි.

සාම්ප්‍රදායික වටපිටාව තුළ උරුමය, ඥාතීත්වය, කුලය, වර්ග පරම්පරාව පමණක් නොව දෙමාපිය බහට කුල ගෙට බලහත්කාරයෙන් රිංග වූ තාරුණ්‍ය හදවත් කොතෙක්නම් තිබෙන්නට ඇති ද? එහි ප්‍රතිඵල මොනවට පැහැදිලි කරමින් රොබට් නොක්ස් විසින් රචිත ‘එදා හෙළදිව’ කෘතියෙහි බිරින්දෑවරු අසීමාන්තික ලෙස සිය හොර සැමියා හා ප්‍රේමයෙන් බැඳී සිටි බව සඳහන් කරයි. මෙය උචිත කරුණක් ලෙස කිසිසේත් මෙහිදී අනුමත කර නොදැක් වුවද පැහැදිලි කරගත යුතු එක් ප්‍රබල සමාජ කාරණාවක් දැකිය හැකි වේ. එනම් ආදරයක්, ප්‍රේමයක් පුද්ගල මනස අපේක්ෂා කරන පරිදි නොලැබීයෑම තුළ ඉන් අත්වන අතුරු ප්‍රතිඵල පූර්වයෙන් විසඳුම් සොයා යන්නට තිබූ අවස්ථාවන්ට ද පවා අභිබවමින් රිදුම් දෙන බව යි.

ප්‍රේමයෙහි ආදරයෙහි නූතනත්වය මේ සියවස වන විට වෙනස් මුහුණුවරක් ගෙන ඇත. ආදරය ප්‍රේමය විෂයෙහි වර්තමාන තාරුණ්‍යයට වැඩි නිදහසක් බොහෝ පවුල් පසුබිම්වලින් ලබා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙමින් තම දරුවන්ට සාර්ථක යුගදිවියකට මඟ සලසාදීම දෙමාපියන්ගේ වගකීමකි. එපමණක් ද නොව නිදහස් අදහස්, මානසික සැහැල්ලු බව, විවාහ ජීවිතයක සැබෑ ස්වභාවය යන කාරණා අවබෝධයෙන් යුතුව වටහා ගැනීමේ ඥානයක් විවාහපත් වීමට අපේක්ෂාවෙන් පසුවන දෙපාර්ශ්වය අතර ම හොඳින් ම පැවතිය යුතු ය.

සමාජය තේරුම්ගත යුතු ප්‍රධානතම කාරණයක් වන්නේ පොතක් වුවද එය මතුපිටින් දැක එහි ඇතුළත අන්තර්ගතය කෙතරම් හොඳ හෝ නරක දැයි විනිශ්චය කළ නොහැකි ය. එමෙන්ම හොඳ හෝ නරක යනු ද එකිනෙකට සාපේක්ෂ කාරණාවන් ය. මට හොඳ වූ යමක් තවකෙකුට නරක විය හැකි ය. මේ සියලු දෑ තේරුම් ගන්නට අත්වැල් පටලාගෙන හන්තාන කඳු මුදුන තරණය කළාට කම් නැත.

රීඩ් මාවත දිගේ කාලය විඩංගු කළාට ද කම් නැත. සියල්ලට ම අවශ්‍ය වන්නේ කාලය යි. දෙමාපියන්ගේ බලපෑමට, එකිනෙකා තේරුම් ගැනීමට ගත කළ කාලය, ඒක පාර්ශ්වීය ආදරය, මරණීය තර්ජන හෝ වෙනත් බලපෑම් මේ කිසිවක් මානසික නිදහසින් යුක්ත ජීවිතයක් ගත කිරීමට ඇති හැකියාව අඩපණ කරයි. බැඳීමක් යනු එකිනෙකා තේරුම් ගැනීමයි. එකිනෙකාට ඇති ගෞරවය යි. සබඳතාව බිඳී ගිය ද ඔහුගේ ඇයගේ ගෞරවය රැකීමයි.

දෙමාපියන් වශයෙන් ද තාරුණ්‍ය තේරුම් ගැනීම අනිවාර්ය කරුණකි. දෙමාපියන් දරුවන්ට වඩා අත්දැකීම් තුළින් කෙතරම් පරිණත වුවද ඔවුනොවුන්ගේ යුගකාල අවකාශයන්හි විෂමතාවය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් ය. එසේ නොවන විටදී ද දෙමාපිය බලපෑමෙන් කුලගෙට යන ඔබේම ආදරණීය දියණිය හෝ පුතණුවන් ඔබ නොමැති දිනක ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්න ඉදිරියේ පිළිතුරු සපයන්නට ඔබ නොසිටිනවා වන්නට පුළුවන. එසේත් නැතිනම් නිවැරදි කළ නොහැකි තරම් ඔබ ප්‍රමාදවන්නට පුළුවන. අවසානයේ අසරණ වන්නේත් ඔබේ ආශිර්වාදයෙහි කුලගෙට යවන ලද ඔබගේ දුව ය. පුතා ය.

තාරුණ්‍ය වශයෙන් ද ප්‍රේමය ආදරය යන අතිශය සංවේදී හැඟීම් සිතුවිලි සහ චර්යාවන්හි ගෞරවය ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීම නූතන තාරුණ්‍යයේ ප්‍රබල වගකීමකි. සබඳතාවයක් පැවති පමණින් මානසික නිදහස සීමා කරමින් තවකෙකුගේ සතුට සැනසීම කිසිවිටක අහිමි කිරීමට උත්සාහ නොකළ යුතුය. විවාහ ජීවිතයකට ඇතුළත් වීමට පෙර එකිනෙකා මඟහැරෙනවා නම්, එම බැඳීම තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට එක් පාර්ශ්වයක් හෝ පසුබට වනවා නම් ඔවුන්ගේ ගමන යෑමට නිදහස ලබා දිය යුතුය. එසේ නොකොට වෛරයෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඔබ ළඟ තබාගන්නට උත්සාහ කරන්නේ නම් නූතන ආදරය සහ සාම්ප්‍රදායික ආදරය අතර වෙනසක් දැකිය නොහැකිය.

එනිසා වත්මන් බුද්ධිමත් තාරුණ්‍යය හැඟීම්, කැපකිරීම් සහ කාලය පසුපස ම පමණක් හඹා නොගොස් ඔබේ ආදරය හිමි වුණොත් සිනාසෙන්නටත් අහිමි වුණොත් එය දරාගනිමින් ගෞරවණීය ලෙස සමුදීමටත් හුරුවිය යුතුමය.

බී. ආර්. සමීර සඳරුවන්
කොළඹ විශ්වවිද්‍යාලය
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment