හිම කන්දකට යට වූ ඉන්දීය සෙබළෙකුගේ සිරුර වසර 38කට පසු හමුවේ

638

හිම කන්දක් කඩා වැටීම හේතුවෙන් වසර 38කට පමණ පෙර හිමාල කඳු වැටියේ ‘සියචෙන්’ ග්ලැසියරය ආශ්‍රිත ප්‍රදේශයේදී අතුරුදන් වූ ඉන්දීය හමුදා භටයෙකුගේ මළසිරුර පැරණි බංකරයක තිබී ඉකුත් ඉරිදා (14) දිනයේ සොයා ගෙන තිබේ.

සොයා ගැනුණු මළ සිරුර පකිස්තානයට එරෙහිව සටන් වැදීම සඳහා ඉන්දීය හමුදාව විසින් 1984 වසරේදී සියචෙන් ග්ලැසියරය පවතින ප්‍රදේශයට යැවුණු 20 දෙනෙකුගෙන් යුත් ඉන්දීය හමුදා භට කණ්ඩායමට අයත් වූ 19 වැනි කුමාඔන් රෙජිමේන්තුවට අයත් චන්ද්‍රසේකර් හාබෝලා නමැති භටයාගේ බව හඳුනාගෙන තිබේ. ලොව පිහිටි උසම යුද පිටිය සේ සැලකෙන ‘සියචෙන්’ ග්ලැසියරය පවතින ප්‍රදේශයට ‘මේඝදුත්’ මෙහෙයුම යටතේ යවන ලද ඉන්දීය භට කණ්ඩායමට අයත් මෙම සෙබළා ඇතුළු 20 දෙනා කඩා වැටුණු හිම කඳුවලට යට වී තිබූ අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ සිරුරු එම දිනවල සොයා ගෙන තිබිණි. එහෙත් ඉකුත් ඉරිදා සොයා ගැනුණු හාබෝලා ඇතුළු සෙබළුන් 05 දෙනෙකුගේ සිරුරු අතුරුදන්ව තිබිණි. හාබෝලාගේ සිරුර සමග තවත් සෙබළෙකුගේ සිරුරක් හමු වී ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත. හාබෝලාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට ඉන්දීය හමුදා බලධාරීන් විසින් තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment