හිරගෙදරදී හමුවූ විජය

939

(2022 පෙබරවාරි මස 16 වෙනි දිනට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ තිස්හතර වැනි (34) ගුණානුස්මරණ සමරු දිනය වෙනුවෙනි)

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිභාපූර්ණ සිනමා නළුවකු වූද ශී‍්‍ර ලංකා මහජන පක්‍ෂයේ ආරම්භක ප‍්‍රථම සංවිධායක මහ ලේකම්වරයා වූද මනුෂ්‍ය දයාවෙන් පිරුණ හදවතක් තිබූ විජය කුමාරතුංග ශී‍්‍රමතාණන්ව අමානුෂික ලෙස මිනිස් තිරිසනුන් විසින් වෙඩි තබා ඝාතනය කර 2022.02.16 වැනි දිනට තිස්හතර වසරකි. (34) එතුමාගේ ජීවිතය පිළිබඳව විමසා බලන විට එතුමාව ඝාතනය කිරීමට ප‍්‍රථම එතුමාව එවකට පැවති රජය විසින් (ජේ. ආර්. රජය) අසත්‍ය චෝදනා නඟා සිරගත කිරීම, එතුමාට සිදුවූ බලවත් සමාජ අසාධාරණයකි.

වෘත්තියෙන් බන්ධනාගාර නිලධාරියකු වූ මා එවකට සේවය කරන ලද්දේ වැලිකඩ බන්ධනාගාරයේය. එවකට පැවති රජය (ජේ. ආර්. රජය) පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම (නැක්සලයිට්කාරයෝ) යයි චෝදනා කරමින් විජයව, වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කළ ප‍්‍රථම දින, එම මොහොතේ සිට එනම් විජයව වැලිකඩ හිරගෙදරට රැගෙන ආ මොහොතේ සිට, එතුමාව එදින පස්වරු පහට රාති‍්‍ර කාලයේදී රැඳවීම සඳහා සිරමැදිරිය තුළට යවා එහි දොරට ඉබි යතුරු දැමූ මොහොත දක්වාම වැලිකඩ සිරගෙදර තුළදී සිදුවූ සිදුවීම් මා මනසේ මැවෙයි. අප සහෘදයා ජීවමානව කතා කරනවා මට ඇසෙයි.

හිරගෙදරදී හමුවූ විජය

කලා හා සිනමා කටයුතුවලදී විජය කුමාරතුංග මහත්මාගේ පුද්ගලික හිතවතකු වූ හා රසිකයකු වූ මා හට එතුමාව සැබෑ ජීවිතයේදී සිරගත කළ අවස්ථාවේ එතුමාට සිර මැදිරි ආරක්‍ෂිත රාජකාරි කටයුතු ඉටුකිරීමට සිදුවීම, මතකයට එනවිට සියුම් සතුටක්ව සිත්හි ජනිත වෙයි. ඒ සමගම ඊටත් වඩා වැඩි දුකකින් හදවත වෙලී යයි. එම සත්‍ය අත්දැකීම් සමුදායෙන් බිඳක් හෝ විජය රසික රසිකාවියන්ගේ හා එතුමාගේ හිතවතුන්ගේ පහන් සංවේගය හා වින්දනය සඳහා විජය කුමාරතුංග සහෘදයාණන්ට උපහාර වශයෙන් සඳහන් කළ යුත්තේ එය මගේ යුතුකමක් ලෙසට මට සිතෙන නිසාය. ඒ මන්දයත් විජයගේ කලා ජීවිතය පිළිබඳව බොහෝ තොරතුරු ඔබ සැම දන්නවා වුවද සැබෑ ජීවිතයේදී සිරකරුවකු ලෙස විජය වැලිකඩ හිරගෙදර තුළ සිරගතව සිටියදී එතුමා පිළිබඳ තොරතුරු බිඳක් හෝ විජය රසික ඔබ සැමගේ හිතවත් ඔබ සැමගේ දැනගැනීම සඳහා සහ ඔබ සැමගේ පහන් සංවේගය හා වින්දනය සඳහාය. මා මෙසේ නොපැවසුවහොත් හෝ නොලීවොත් එම සොඳුරුමය හා දුඃඛමය සත්‍ය අත්දැකීම් මා සමගම මියයනවා ඇතැයි ද මට සිතෙන නිසාය.

හිරගෙදරදී හමුවූ විජය

විජය මහත්මාව වැලිකඩ හිරගෙදර සිරගත කරන ලද්දේ 1982 නොවැම්බර් මස 25 වැනිදාය. වැලිකඩ හිරගෙදර තිබෙන තට්ටු තුනකින් හා සිරමැදිරි පනහකින් පමණ සමන්විත එච් (H‍) වෝඞ් නමින් හඳුන්වන සිර ගොඩනැඟිල්ලේය. එම ගොඩනැඟිල්ලේ සිර මැදිරිවල රඳවා සිටි සියලූම සිරකරුවන් එයින් පිටත යවා එහි තුන්වැනි මහලේ වම්පස තිබෙන පළමුවන සිරමැදිරියේය. එම මොහොතේ වේලාව සවස තුන පසුවී විනාඩි හතළිහකි. එම ගොඩනැඟිල්ල තට්ටුවෙන් තට්ටුව කිසිවකුට ඇතුළුවීමට නොහැකිවනසේ පියගැට පෙළින් වසා දැමිය හැකි පිළිවෙළට සාදා තිබුණු එකකි. අද 1982 නොවැම්බර් මස 25 වැනිදාය. මෙයට අවුරුදු පහකට පමණ පෙරදී එනම් 1977 වසරේදී කිඳුරු කුමාරි නමැති චිත‍්‍රපටයේ විජය සිරකරුවකු ලෙසට රඟපෑ අතර එහි එම ජවනිකා පෙළ රූපගත කරන ලද්දේ මෙම ගොඩනැඟිල්ලේ පළමුවන මහලේ දකුණු පස තිබෙන හතරවැනි සිරමැදිරියේදීය. එම චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාය. ජෙරාඞ් ප‍්‍රනාන්දු මහත්මයා (සිනමා නිළි නීටා ප‍්‍රනාන්දු මහත්මියගේ මාමාය.) එවකට ද වැලිකඩ හිරගෙදර සේවය කරමින් සිටි මා හට එම මහතුන්ගේ අනුග‍්‍රහය යටතේ එම චිත‍්‍රපටයේ විජය සිරකරුවකු ලෙස සිරමැදිරියේ රඟන විට සිරමැදිරි ආරක්‍ෂිත රාජකාරියේ යෙදෙන නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියකු ලෙස රඟපෑමට මට ද අවස්ථාව ලැබිණි. අනික් නිලධාරියා රූමි නමැති මගේ ද මිත‍්‍රයෙකි. එම සිදුවීමත්, අද දවසේ සිදුවූ මෙම සත්‍ය ජීවිත සිදුවීමත් වැලිකඩ හිරගෙදර මෙම සිර ගොඩනැගිල්ලේදීම සිදුවීමත්, එදා විජය නමැති නළු සිරකරුට නිලධාරියකු ලෙස මට රඟපෑමට ලැබීමත් අද සත්‍ය වශයෙන්ම සිරකරු විජයට සත්‍ය නිලධාරියකු ලෙස රාජකාරි කටයුතු ඉටුකිරීමට සිදුවීමත් කිසියම් දෛවෝපගත සිද්ධීන් විය හැකි යයි අද මට සිතේ. මේ අවස්ථාවේදී මම ඒ පිළිබඳව විජයට මතක්කර දුනිමි. චිත‍්‍රපටයේ නම විජයට මතක තිබුණත් එහි කතාව විජයට මතක තිබුණේ නැත. කිඳුරු කුමාරි චිත‍්‍රපටයේ නිෂ්පාදක මාරාවිල වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ (මාළු) රූබන් ප‍්‍රනාන්දු නමින් මුදලාලි මහත්මයා.

”එදා මම බොරුවට හිරකාරයෙක්. අද මම ඇත්තටම හිරකාරයෙක් වෙලා. පුදුමයි මේ ජීවිතය… පුදුමයි මේ සමාජය.. යැයි සුසුමක් පිටකරමින් විජය පැවසූ හැටි මට අද වගේ මතකය.”

මගේ සමරු සටහන් පොත මගේ කාර්යාල මේසයේ තිබෙන බව මතක්වූ මම එය සිරකරුවකු යවා මැදිරිය වෙත ගෙන්වා ගෙන සිර ජීවිතය මතක්වීමට මොනව හරි ලියන්න කියා විජයට දුනිමි. මම විජයට සමරු පොත දෙන ගමන් මේ සමරු පොතේ මම පාසල් යන කාලයේදී ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද අත්සන තබා ඇති බව මම විජයට කීවෙමි. එවිට මටම කියාම එම පිටුව පෙරළාගෙන බැලූ විජය ටික මොහොතක් මැතිනියගේ අත්සන දෙස බලා සිට, මැතිනිය අත්සන් කර තිබූ පිටුවට ඉදිරිපස පිටුවේ මෙසේ ලිව්වේය.

වැලිකඩ සිරගෙදරදීය.

1982.11.25

කවදා හෝ මේ පවතින අසාධාරණ සමාජ ක‍්‍රමයෙන් සත්‍යයත් සාධාරණත්වයත් එළිදකිනා තෙක් ඔබත් මමත් අප හැම දෙනාමත් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යමු.

එදාට උදාවෙන විමුක්තියෙන් සියලූ සත්ත්වයෝ යහතින් වෙසෙත්වා!

විජය කුමාරතුංග

එම සමරු සටහන ලියා විජය සමරු පොත මට දුන්නේය. එය කියවූ මම විජය මහත්තයාගේ පුතාගෙ නමත් විමුක්ති නේද? යැයි මා ඇසූවිට විජය ”ඔව් මම එහෙම ලිව්වෙ මට බැරිවුණොත් ජනතාවට විමුක්තිය ලබාදෙන්න මගෙ පුතා විමුක්ති කවදා හෝ එය ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා යැයි ගැඹුරු ස්වරයකින් පැවසීය.

මේ අවස්ථාවේදී මෙම ‘එච්’ වෝඞ් එකටත් මීට එහායින් ඇති ‘අයි’ (I) වෝඞ් එකටත් අතර ඇති මිදුලට රැස්ව සිටි සිරකරුවන් විශාල පිරිසක් අත් ඔසවමින් අත් වනමින් විජයට ආචාර සමාචාර දක්වන්නට විය. මේ අතර අප නිලධාරීන් කීපදෙනකුද සිටියේය. විජය ගොඩනැඟිල්ලේ ජනේලයේ යකඩ කූරු අතරින් අත එළියට දමා එම පිරිසට ප‍්‍රතිචාර දක්වන්නට විය. මේ අවස්ථාවේදී පිරිස අතර සිටි නිලධාරීන් මා අමතමින් ‘මචං ෂෙල්ටන් දොර ඇරපන්කො අපිටත් විජය ළඟට එන්න’ යයි ආයාචනා කර සිටියේය.

මේ මොහොතේ විජය මා දෙස බැලූවේ සුහද මෙන්ම අපූරු බැල්මකි. මම විජය දෙස බැලූවෙමි. මේ මා සමග එකට සේවය කරන සහෝදර නිලධාරීන් නොවේද? නීතියත්, මිනිස්කමත් අතර පවතින විශාල පරතරයේ මේ අවස්ථාවේදී අතරමං වූ මා තට්ටුවෙන් තට්ටුව වසා තිබුණ දොරවල් දෙක විවෘත කර දැමූ මම අවසානයේ ගොඩනැඟිල්ලේ ප‍්‍රධාන යකඩ දොරටුවද විවෘත කළේ සහෝදර නිලධාරීන් උදෙසා වුවද මේ මොහොතේ සිරකරු නිලදරු භේද අමතක වූ පිරිස එකිනෙකා පෙරළාගෙන පොරකමින් සිරමැදිරිය වෙතට විජය ළඟට පැමිණ විජයට ආචාර සමාචාර දක්වන්නට වූ අතර එතුමාව සිප වැළඳ ගැනීමට පවා ඔවුන් පසුබට නොවීය. අවස්ථාව පාලනය අසීරු විය. මේ මොහොතේ සිරකරුවන් හා නිලධාරීන් ඇමතූ විජය,

හිරගෙදරදී හමුවූ විජය

‘දැන් ඉතින් ඔය සහෝදරවරු කරුණාකරල පහළට බහින්න, නැත්නම් මටත් වඩා කරදර වෙන්නේ මේ නිලධාරි මහත්තයාටයි පැවසීය.’

විජයගේ හඬට අවනත වූ පිරිස පහළට බැස ගියේය. මා ප‍්‍රකෘතියට පැමිණියේ එම මොහොතේදීය.

හිරගෙදර නිලධාරීන් විජයට හිරගෙදරදී උදව් උපකාර කරන බවට සැකකර රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලද්දේ මේ දිනවලදීය. විජයව වැලිකඩ හිරගෙදරට රැගෙන එන ලද දිනයේ සිට එනම් 1982.11.25 වැනි දින සිට 1982.11.28 වැනි දින දක්වා විජය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් විසින් සටහන් තබන ලද සියලූම රාජකාරි සටහන් පොත්පත් රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අප නිලධාරීන් දෙදෙනකුගේ රැකියා තහනම් කරන ලදී. (සෝමවංශ හා විමලසිරි) එම නිලධාරීන් දෙදෙනාට විරුද්ධව රහස් පොලිසිය විසින් පවරන ලද නඩුවට හිටපු බන්ධනාගාර කොමසාරිස් ජේ. පී. මදල්ගොඩ මහත්මා ඇතුළු සාක්‍ෂිකරුවන් පනස්දෙදෙනකු (52) නම් කර තිබිණි. එහි ප‍්‍රථම සාක්‍ෂිකරු ලෙසට නම් කර තිබුණේ විජයට සිරමැදිරි ආරක්‍ෂිත රාජකාරි කටයුතු ප‍්‍රථමයෙන්ම ඉටුකරන ලද මගේ නමය. එම සිවිල් නඩුව පළමු වර විනිශ්චය කරන ලද්දේ මහා භාකාරතුමාය. ඉන්පසුව පවත්වන ලද දෙපාර්තමේන්තු විනය පරීක්‍ෂණය පවත්වන ලද්දේ බන්ධනාගාර අධිකාරිවරයකු විසිනි.

පැවති ජේ. ආර්. රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කළ කුමන්ත‍්‍රණකරුවන් යැයි (නැක්සලයිට්වරු) කියමින් චෝදනා නගා අනික් පුද්ගලයන් තිදෙනා වූයේ ෆීලික්ස් පෙරේරා, ඔසී අබේගුණසේකර සහ යසරත්න අමරතුංග යන තිදෙනාය. යසරත්න අමරතුංග මහත්මාව වැලිකඩ හිරගෙදර ‘පී’ වෝඞ් (P.WORD) නමින් හඳුන්වන විශේෂ ආරක්‍ෂිත සිරමැදිරි විස්සකින් පමණ සමන්විත දෙමහල් ගොඩනැඟිල්ලේ සිරගත කර සිටි අතර ෆීලික්ස් පෙරේරා මහත්මාව සහ ඔසී අබේගුණසේකර මහත්මාව සිරගත කර සිටියේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේය.

විජය මහත්මාගේ රාතී‍්‍ර ආරක්‍ෂිත රාජකාරි කටයුතු භාරදීම යෙදී තිබුණේ පස්වරු පහටය. එය වැලිකඩ හිරගෙදර සිරකරුවන් සිරමැදිරි තුළට යවා සිරමැදිරි වසා දැමීමට පටන්ගන්නා වේලාවයි. සවස 4.45 ට පමණ විජය මහත්මාව වෙනත් සිර මැදිරියක් වෙත රැගෙන යෑම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරිතුමා ඇතුළු නිලධාරීන් කීපදෙනකු ‘එච්’ වෝඞ් (H.WORD) වෙත පැමිණියේය. දිවා සේවා නිලධාරියා වශයෙන් විජයව මෙහි සිට එම සිරමැදිරිය වෙතට රැගෙන යෑමේ රාජකාරි කටයුතු (ආරක්‍ෂණය කිරීමට) මමද ඔවුනට එක්වීමි.

එම සිරමැදිරිය තිබුණේ වැලිකඩ හිරගෙදර තුළ තවත් තාප්පයකින් වටකර සාදා තිබුණු ‘වයි ඕ’ නමින් හඳුන්වන කොටසේය. එම කොටසේද කෙළවර තිබූ එම සිරමැදිරිය පුංචි කාමර දෙකකින් යුක්ත විය. එක සිරමැදිරියක සිරකරු රැඳවිණි. අනික් කාමරය වැසිකිළි හා ජල පහසුකම් සඳහා වෙන් කර තිබිණි. එසේ වුවද මෙම සිරමැදිරිය මේ වනවිට පරිහරණයට නොගෙන මාස කීපයක්ම අතහැර දමා තිබූ එකකි. ජලනළ කැඞී බිදී ගොස් තිබුණි. විජය මහත්මාව වැලිකඩ හිරගෙදරට, යුද හමුදා නිලධාරීන් විසින් ගෙන ආවේ පස්වරු තුනට පමණය. දැන් පස්වරු පහට ආසන්නය. පැය දෙකක් පමණ සුළු කාලයක් තුළදී එම සිරමැදිරිය වටේට කටුකම්බි ගසා අඩි දොළහක් පමණ උසට ටකරන් ද ගසා ආවරණය කර තිබිණි. එම සිරමැදිරිය හඳුන්වන ලද්දේ ‘එස්’ වෝඞ් යනුවෙනි. එස් වෝඞ් සිරමැදිරිය පිටුපස තිබුණේ ‘පී’ සිරමැදිරි ගොඩනැඟිල්ලය. එහි අනික් නැක්සලයිට්කරු වන යසරත්න අමරතුංග මහත්මාව රඳවා සිටියේය. මෙසේ කටුකම්බි ගසා, ටකරන්ද ගසා එම මැදිරි ආවරණය කරන ලද්දේ එකිනෙකාට, එකිනෙකා දැක ගැනීමට නොහැකිවීම සඳහා විය යුතුය.

සිරගත කර සිටියදී විජයව වැලිකඩ හිරගෙදරදී මුණගැසීමට පැවති රජය අවසර දී තිබුණේ විජයගේ බිරිඳ වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පමණි. එම රජයේ නියෝගය අනුව චන්ද්‍රිකා මහත්මිය වැලිකඩ සිරගෙදර අභියසට පැමිණි පසුව ඒ බව සිරගෙදරින් රහස් පොලිසියට දැනුම් දිය යුතුය. එවිට අඩු තරමින් රහස් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුවත් සිරගෙදරට පැමිණෙති. ඔවුන් පැමිණෙන්නේ කතා පටිගත කරන යන්ත‍්‍රයක්ද (ටේප් රෙකෝඩරයක්ද) රැගෙනය. වැලිකඩ සිරගෙදර තුළ ටකරන් ගසා වටකරන ලද පුංචි මඩුවක් වැනි ස්ථානයකදී – චන්ද්‍රිකා මහත්මියට විජය මහත්මාව මුණගැස්සවීමේ රාජකාරි කටයුතු ඉටුකරන ලද අතර එම දෙදෙනා අතර ඇතිවන කතාබහ, රහස් පොලිස් නිලධාරීන් විසින් පටිගත කරන ලද්දේය. දෙදෙනාගේ හමුවීමට, කතාබහට අවස්ථාව ලැබෙන්නේ විනාඩි විස්සක් වැනි සුළු කාලයකි. පටිගත කරන ලද එම කතාබහ, එම නිලධාරීන් විසින් රැගෙන ගොස් එම අවස්ථාවේදීම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්මා වෙත ඉදිරිපත් කරන බව අපට දැන ගැනීමට ලැබිණි.

හිරගෙදරදී හමුවූ විජය

මෙම කාලය තුළදී එල්. ටී. ටී. ඊ. (කොටි) සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන් වූ කුට්ටමනී, ජෙගන්, ඇතුළු ද්‍රවිඩ සැකකරුවන් පනස්දෙදෙනකු වැලිකඩ හිරගෙදර, විශේෂ සිරමැදරිවල රඳවා සිටියහ. ඔවුන්ව හමුවීම සඳහා එවකට පැවති රජයේ විපක්‍ෂ නායක වූ ඒ. අමිර්තලිංගම් හා එහි ලේකම්වරයා වූ සිවසිත්තම්බරම් මහත්වරු ඇතුළු ද්‍රවිඩ දේශපාලන නායකයන් කීපදෙනකු පැවති රජයේ විශේෂ නියෝගයක් රැගෙන වැලිකඩ හිරගෙදරට පැමිණියේය. ඔවුන්ගේ හමුවීමේ රාජකාරි කටයුතු වැලිකඩ හිරගෙදර තුළ කාර්යාලයේදී සිදුකරන ලද අතර එහි විශේෂත්වය වූයේ ඔවුන් කතාබස් කරන විටදී එම කතා බහ නොඇසෙන දුරකින් බන්ධනාගාර නිලධාරීන් සිටිය යුතු බවට එම රජය පවරා තිබූ කැකිල්ලේ නියෝගයයි.

සිරගෙදර මගේ රැකියා සේවා කාලය තුළදී කිසියම් සිරකරුවකු සිය ඥාතීන් හමුවීමේදී ඔවුන් අතර ඇතිවෙන කතාබහ පටිගත කිරීමත් එම අවස්ථාව බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අතිරේකව රහස් පොලිසියේ නිලධාරීන් විසින් අධීක්‍ෂණය කිරීමත් මා දුටු ප‍්‍රථම අවස්ථාවද, සිරකරුවන් හා ඥාතීන් හමුවීමේදී ඇතිවෙන කතාබහ, නොඇසෙන දුරකින් බන්ධනාගාර නිලධාරීන් සිටිය යුතුවීමේ නියෝගයක් ලංකාවේ සිරගෙවල් තුළදී එතෙක් මෙතෙක් කි‍්‍රයාත්මක නොවූ සිදු නොකළ කි‍්‍රයා බව සිරගෙවල් ඉතිහාසය දන්නා වූ නිලධාරීන්ගේ අදහසයි. එය ජේ. ආර්. රජය මූලික මිනිස් අයිතිවාසිකම් වලට ගරු කළ සැලකූ අපූරුතම ආකාරය මැනවින් ප‍්‍රකාශිත ඉතිහාස ගතවිය යුතු සිද්ධීන් විය යුතුය.

විජය කුමාරතුංග මහත්මාගේ රාතී‍්‍ර ආරක්‍ෂිත රාජකාරි කටයුතුවල ප‍්‍රථම වටයේ රාජකාරි කටයුතු භාර ගැනීම සඳහා ‘එස්’ සිරමැදිරිය ඉදිරියේ අප නිලධාරියකු සූදානම්ව සිටියේය. සිරමැදිරිය වෙත රැගෙන එන ලද විජය කුමාරතුංග මහත්මාව රාජකාරි සටහන් පොතේ මෙසේ සටහන් කර මවිසින් විජයව එම නිලධාරියාට භාර දුනිමි.

1982.11.25 වැනි දින පස්වරු 5.10 යි. ‘එච්’ සිරමැදිරියේ සිට එස් සිරමැදිරිය වෙත ආරක්‍ෂණය කරන ලද විශේෂ සැකකරු අංක යූ. සී. 3020 දරන විජය කුමාරතුංග නමැත්තාව රාතී‍්‍ර සේවා ප‍්‍රථම වටයේ නිලධාරි බී. සැම්සන් පෙරේරාට භාර දුනිමි.

විජයව භාර ගැනීමට යොදවා සිටි නිලධාරියා මගේ ඥාති සොහොයුරෙකි. (කුමාර මල්ලි) ඔහු මගේ මවගේ නැගණියගේ වැඩිමහල් පුත‍්‍රයාය. එයද දෛවයෝප ගත සිදුවීමක් යයි අද මට සිතේ. විජය මහත්මාව වැලිකඩ හිරගෙදර සිරගත කරන ලද ප‍්‍රථම දිනයේ එම පැය කීපය තුළ සිදුවූ සිදුවීම් හා ඉන් පසුව විජය මහත්මා සම්බන්ධ අත්දැකීම් ද සුවඳ හම හමා මා මතකයට පැමිණ විජය ජීවමානව සිය සහෘදයන් අමතන අයුරු මැවී පෙනෙන විට පැවසිය නොහැකි වේදනා යවුලකින් මා හද පතුල දෙදරුම්කා සිදුරුවී යයි. සිය ජාතියට පමණක් නොව වාදභේද වලින් තොරව ලෝකවාසී සියලූ සත්වයන්ගේ සාමය, සමාදානය, හා විමුක්තිය උදෙසා ඇප කැපවී කි‍්‍රයා කළ මනුෂය දයාවට දිවි දුන්, විජය කුමාරතුංග සහෘදයාණනි, ඔබ හට සිරස නමා භක්ති ප‍්‍රණාමය පුදකරමි.

ෂෙල්ටන් කුරේරා
මාරාවිල.

advertistmentadvertistment
advertistmentadvertistment