හිරුණිකාගෙන් හා ආදර්ශාගෙන් ආශු වන්දි ඉල්ලයි

438

තමා අපහාසයට ලක් කිරීම නිසා ඊට වන්දි වශයෙන් රුපියල් බිලියන 1.5ක් තමාට ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහ ආදර්ශා කරදන යන අයට එන්තරවාසි යවා ඇත.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා එමගින් කියා ඇත්තේ, තමා පිළිබඳ ව්‍යාජ වීඩියෝවක් සකසා එය පළ කිරීම සහ එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපණයක් ලබා දීමෙන් තමාට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ආදර්ශා කරදනට එන්තරවාසි යවා ඇති බවය.

පසුගිය 23 වැනිදා එම දෙදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් ජනතාව නොමග යවා ඇති බවත් එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් තමාට එරෙහිව ගොඩ නගා සිය කීර්ති නාමයට හානි කර ඇති බවත් ආශු මාරසිංහ මහතා කියා සිටියි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක් සහ ආදර්ශා කරදන යන අයගෙන් රුපියල් බිලියනයක මුදලක් තමාට වන්දි වශයෙන් ලබා දෙන ඉල්ලා මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් මෙම එන්තරවාසි යවා ඇත.

මෙම එන්තරවාසි මගින් දන්වා ඇත්තේ පසුගියදා ඔවුන් කරන ලද මාධ්‍ය සාකච්ඡාවේ සියලු තොරතුරු අසත්‍ය බවය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment