හිරුණිකාගේ නඩුව අවසන්වරට කල් තබයි

309


ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ විභාගය 2023 ජනවාරි 30 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සූදානම් බවත් එම වීඩියෝ සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවත් සඳහන් කළේය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය දැනටමත් වසර හයක් පමණ ප්‍රමාදවී ඇති බව සඳහන් කළේය.
කෙසේ වෙතත් විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කළේ මෙම නඩු විභාගය අවසන් වශයෙන් ජනවාරි මස 30 වනදා දක්වා කල්තබන බවය.
එදින නඩුව අනිවාර්යෙන්ම විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝගකර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment