හිරුණිකා ඇතුළු 15 කට එරෙහි නඩුව ජුනි 5ට කල් යයි

97

මහජන පීඩාවක් වන පරිදි හා නිසි අවසරයකින් තොරව කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විරෝධතා පාගමනක නිරත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනි නිරෝෂා අතුකෝරල ඇතුළු 15 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුව ලබන ජුනි 5 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

පසුගිය නොවැම්බර් 14 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ට පොලිසිය විසින් මේ දක්වා චෝදනා පත්‍රයක් ගොනුකර නොමැති බවත් නඩුව ඉදිරියට පවත්වාගෙනයෑමට පොලිසිය අපේක්‍ෂා කරන්නේ නම් බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර ඇති තොරතුරු ඉල්ලා අස්කර ගැනීමේ හැකියාව පවතින බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් මහතා කියා සිටියේය.

එම විරෝධතා පාගමන සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් ලබාගෙන තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය බවට කුරුඳුවත්ත පොලිසිය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මෙහස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ලබන ජුනි 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment