හිල් බාල්දිය (සාජන් අමරදාසගේ ප්‍රහේලිකාගත චරිතය)

2099

කුට්ටිගල පොලිසියේ සාජන් ඩබ්ලිව්.ඒ. අමරදාස මේ ඊයේ පෙරේදා දවසක ගෝල්ෆේස් පිට්ටනියේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් අතරට ගොස් ලෝක ලෙඩක් දමා ගත්තේය. නිල ඇඳුම පිටින්ම උද්ඝෝෂකයන් සමග එක්වුණු හෙතෙම ආණ්ඩුවට බැණ වදිමින් ගෝඨාභය රාජපක්ෂ තනතුරින් ඉවත් විය යුතු බව කියා තිබේ. අපට දැනගන්නට ලැබී ඇති පරිදි දැනටමත් සාජන් අමරදාසගේ රස්සාව ගැස්සී ගොසිනි. මේ වන විට සාජන්ට ඇප ලැබී ඇති බව කියැවේ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතිය මෙන්ම ලෝකයේ තිබෙන සෑම ආණ්ඩුවකම නීතිය යටතේ නියෝග කෙරෙන පරිදි ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ සේවකයන්ට යුනිෆෝම් එක පිටින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එකතුවීම තහනම් ය. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් බලන කල සාජන් අමරදාසගේ රස්සාවට කෙළවීම පොලිස් විනය නීතියට අනුව සාධාරණ ය. සාජන්ට සහ ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට අනුව සාජන්ගේ රැකියාවට කෙළවීම ඉතාම අසාධාරණ වන්නට පුළුවන. කෙසේ හෝ වේවා මේ සාජන්ගේ වෘත්තීය ට්‍රැක් රෙකෝඩ් එක පිරිසිදු නැති බව පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මොහු 1999 දී හොරෙන් කපන ලද ලී ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇත. 2013 දී ඔහු ළඟ ගංජා තිබී අසුවිය. එවිට ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී. ඔහුගේ වැඩ ද තහනම් විය. මේ නිසා සාජන් අමරදාසට වැඩ තහනම යනු ඒ හැටි දෙයක් නොවන්නට ඉඩ තිබේ. ගංජා කේස් එකෙන් පසුව ඉතාම සානුකම්පිත හේතූන් නිසා සාජන් අමරදාසට ආපසු රස්සාව දුන් බව පොලිස් නිවේදනයේ සඳහන් වේ. මේ අනුව බලන කල පෙනී යන්නේ සාජන් දිගටම වැරදි කළත් පොලිසිය ඔහු දිගටම සේවයේ තබා ගැනීමෙහි කිසියම් රහසක් ඇති බවය. ඒ නිසා අවසන් විග්‍රහයේදී බලන විට සාජන් අමරදාස ගෝල්ෆේස් පිට්ටනියෙන් මතුවී පොදු විරෝධතාවට එකතු වීමට පොලිසිය ද වගකිව යුතු ය. පොලිස් නිලධාරියකු හොර ලී කේස් එකක් සහ ගංජා කේස් එකක් යන දෙකටම වරදකරු වූ පසුත් සේවයේ තබා ගැනීම අනර්ථයකි. කිසිම වගකීමක් නැති එවැනි පිස්සකු තුන්වන වරද ලෙස පාරේ යන මිනිසකුට පිහියෙන් ඇනීම කළ හැකිය. සාමාන්‍යයෙන් පොලිසියේ විනය නීතිය ඉතාම තදය. බුලත් විටක් පගාවට ගත් අවුරුදු 35 ක සර්විස් එකක් ඇති දුප්පත් රාළහාමිලා අත්අඩංගුවට ගෙන කෝට් බෝට් ගලවා හිරේ දැමීම පොලිසියේ සිරිත ය. මේ සියල්ල මේ රටේ මහජනතාව දන්නා බැවින් උද්ඝෝෂණයට ගිය සාජන් අමරදාසගේ පෙර වැරදි සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ලියවිල්ල සාමාන්‍ය ජනතාව විසින් නොපිළිගනු ලැබීමට ඉඩ තිබේ. එහි වරද ද පොලිසියේම ය. ලී කේස් එක සහ ගංජා කේස් එක වෙද්දී සාජන් අමරදාස පිටුපස ප්‍රබල දේශපාලනඥයකු සිටි බවට අපි යෝජනා කරමු. ඒ දේශපාලනඥයා චන්ද්‍රිකා ආණ්ඩුවේ හෝ රාජපක්‍ෂ ආණ්ඩුවේ කෙනකු බවට අප සැක කරන්නේ අමරදාස වැරදි කළ දෙවතාවේදීම රට පාලනය කළේ ඔවුන් බැවිනි.

රාජ්‍ය විරෝධී අරගලවලට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් එකතුවීම ඉතා පරණ කතාවකි. 1962 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළා ඇය අත්අඩංගුවට ගැනීමට සැලසුම් කෙරුණු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක ප්‍රධාන වග උත්තරකරුවන් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලොක්කන් කිහිපදෙනෙකි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එවකට යුද හමුදාපතිව සිටි රිචඩ් උඩුගම විදේශ සංචාරයක නිරතව සිටියදීම එම සංචාරය අවලංගු කර මෙරටට ගෙන්වා ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගෙන කාකි කෝට් ගලවා දමා රිමාන්ඩ් කරනු ලැබීය. 1971 කැරැල්ලට ද ඇතැම් යුද හමුදා සෙබළු සහභාගී වූහ. 88, 89 භීෂණයේදී විජේවීර අල්ලාගෙන ඝාතනය කිරීමට ස්වල්ප වේලාවකට පෙර ඔහුගේ ඡායාරූප රැසක් ගන්නා ලදී. එම කටයුතු සිදු කළ ඡායාරූප ශිල්පියා යුද හමුදාවට ඉතාම විශ්වාසවන්ත හමුදා සෙබළකු වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ද විය. ඡායාරූප ගනිමින් සිටියදී තම පක්ෂ සාමාජිකයා හඳුනා ගැනීමට විජේවීරට හැකි වූ බව කියනු ලැබේ. එසේම විජේවීරට කිට්ටු වූ හමුදා සෙබළ ඡායාරූප ශිල්පියා තමා ජවිපෙ සාමාජිකයකු බව කියන ලදැයි ද කියති. මේ කතන්දර දෙක පරස්පර විරෝධීය. එහෙත් ආරක්ෂක අංශ සාමාජිකයන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට හෝ එම කුමන්ත්‍රණ සිදු කළ සංවිධාන සමග කටයුතු කළ බව ඔප්පු කිරීමට මේ කතන්දර ප්‍රමාණවත්ය. ලෝකය පුරාම මෙවැනි සිද්ධීන් වාර්තා වෙයි. සාජන් අමරදාසට කරන්නට තිබුණේ නිවාඩුවක් දමා ගෙදර ගොස් කෝට් බෝට් ගලවා පැත්තකින් තබා කොළඹ විත් විරෝධතාකරුවන්ට එකතු වීමය. එසේ නොකිරීමෙන් ඔහු අලුත්ම ප්‍රශ්නයකට මග විවර කර ඇත.

ජනතා උද්ඝෝෂණ පමණක් නොව වෙන මොන මඟුල කළත් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නැත. අද හෝ හෙට අලුත් කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එහිදී අගමැති ලෙස පත්වනු ඇත්තේ ද මහින්ද රාජපක්ෂ ය. දැනට ශ්‍රී ල නි ප ය ද ආණ්ඩුවෙන් ඉවත්වී ගොස් ඇති නිසා අලුත් ඇමැතිවරුන් පත් කළ යුතුව ඇත්තේ පොහොට්ටුවේම මන්ත්‍රීවරුන්ගෙනි. මේ අනුව පරණ ආණ්ඩුවම අලුත් මුහුණුවරකින් ඉස්සරහට එනවා ඇත. උදය ගම්මන්පිලට අනුව එවිට සිදුවන්නේ පරණ නෑම අලුත් බාල්දියකින් සිදු කිරීමය. උදය ගම්මන්පිල එවැන්නක් කීවාට අපේ වැටහීමට අනුව අලුත් බාල්දියක්වත් ගැනීමට ආණ්ඩුවට සල්ලි නැත. මේ නිසා ආණ්ඩුව තවදුරටත් නාන්නේ හිල් වූ පරණ බාල්දියෙනි. හිල් බාල්දියකින් නාන විට ඔළුවට වතුර වැටෙන්නේ අඩුවෙනි. එවිට හෙම්බිරිස්සාව හැදේ. සමහරවිට හෙම්බිරිස්සාව නරක් වී උණ සන්නිපාතය ද හැදේ. මෙතැනදී ආණ්ඩුව කළ යුත්තේ හෙම්බිරිස්සාව හදා ගන්නවාද, උණ සන්නිපාතය හදා ගන්නවාද නොඑසේ නම් වඩාත් නිරෝගීව සිටීමේ පියවරකට යනවාද යන්න තෝරා ගැනීමය.

advertistmentadvertistment
advertistmentadvertistment