‘හිස රදේට කොට්ට මාරු කිරීමෙන්’ සෙනසුරු අපලය සමනය වෙයි ද?

917

ශනි හෙවත් සෙනසුරු ග‍්‍රහයා වසර 30කට පසු නැවත තම ස්වක්‍ෂේත‍්‍ර හා මූල ත‍්‍රිකෝණ රාශියවන කුම්භයට සම්ප‍්‍රාප්ත වේ. අවසන් වරට සෙනසුරු කුම්භ රාශි ගතවූයේ 1993 මාර්තු 04 වැනිදා ය. සෙනසුරුට රාශි චක‍්‍රය වටා යෑමට සාමාන්‍යයෙන් වසර 30ක් පමණ ගතවේ යැයි ගණන් බලා ඇත.

 1993ට ප‍්‍රථම සෙනසුරු කුම්භ රාශි ගතව ඇත්තේ 1964 ජනවාරි 27 වැනිදා ය. සෙනසුරු කුම්භ රාශි ගතවීමෙන් පෙන්නුම් කරනුයේ, අප රට කේන්දරයේ ලග්න භාවයට සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන බවයි. සෙනසුරුගේ කුම්භ රාශි ආගමනය අපට පහසුවෙන් අමතක කළ නොහැක්කක් බව ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලි වේ.

 1964ට පෙර සෙනසුරු කුම්භ රාශි ගතව ඇත්තේ 1934 මාර්තු 15 වැනිදා ය. ඒ වනවිට අප රට නිදහස ලබා නොතිබූ අතර රට පාලනය කරන ලද්දේ අධිරාජ්‍යවාදීන් විසිනි. එම කාලයේ අප රට තුළ ආර්ථික හා දේශපාලනික සිදුවීම් රැුසක් සිදු වූ අතර ඒවා සුවිශේෂී සිදුවීම් ලෙස ඉතිහාසයේ සටහන්ව තිබේ.

 සෙනසුරු ග‍්‍රහයා ලග්නයට පිවිසීම යහපත් නොවන ග‍්‍රහ ගෝචරයක් ලෙස සෘෂීන් පෙන්වා දී ඇත. ලග්න භාවයේ සෙනසුරු ගමන් කිරීම ඉතා ම අසුබ ය. මෙය රටක හෝ ජනතාවට විපත්තිදායක කාලයක උදාවක් ලෙස සෘෂීන් වැඩි දුරටත් කියා ඇත. මහජනයා තුළ දැඩි කළ කිරුණු ස්වභාවයක් ඇතිවන අතර මිල මුදල් හි`ග වීමෙන් රටේ ආර්ථිකය බින්දුවට බසින්නට බොහෝ දුරට ඉඩ තිබේ.

 රට තුළ වෙළෙඳ ව්‍යාපාර කඩා වැටෙන අතර කර්මාන්ත අඩපණ වීම් වැළැක්විය නොහැකි වේ. රැුකී රක්‍ෂා හි`ග වේ. මිල මුදල් සංසරණය අඩුවේ. හාල්, පිටි, සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ පොළෙන් දුරස්වේ. භාණ්ඩ හි`ගකම දස දෙසින් ම අසන්නට ලැබෙනු ඇත.

 ඉන්ධන, ගෑස්, වැනි අත්‍යවශ්‍ය සැපයුම් අඩාලවන අතර දුක, භීතිය, සංතාපය, වේදනාව, දුප්පත්කම හා දරිද්‍රතාවය අප රට වෙළා ගනු නො අනුමානය.

 හොර මැරකම් හා ජඩකම් වැඩිවන අතර දරිද්‍රතාවය දරාගත නොහැකිව සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව ද ඉදිරියේ දී වැඩි අගයක් ගනු නිසැක ය. දුප්පත් ජනතාවගේ පිහිටට පාලකයන් කෙසේවත් පැමිණෙන්නේ නැත.

 ඉදිරියේ දී සෙනසුරු මාරුවත් සමග රට පුරා ඖෂධ හි`ගයක් ඇතිවීමේ වැඩි ප‍්‍රවණතාවයක් පවතින අතර රෝගීන් කබලෙන් ළිපට වැටෙනු නියත ය. කොරෝනාවට වඩා දෛනික මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර ජනතාව තුළ අපේක්‍ෂා භංගත්වය වැඩි වනු ඇත.

සෙනසුරු වසර තිහකට පසු පැමිණ නිකන්ම යන්නේ නැත. තෙල් නැති, ගෑස් නැති, විදුලිය නැති, හාල් නැති, කෙටියෙන් කියතොත් කන්න බොන්න දෙයක් නැති අපූරු කාලයක් බවට ලංකාව පරිවර්තනය කර මිස සෙනසුරු කුම්භයෙන් පිටවන්නේ නැති බව අවිවාදයෙන් පැවසිය හැක. 1993.03.04 සෙනසුරු කුම්භ රාශි ගතවීමේ විපාක ලෙසින් සිදු වූ සමහර දේ අතරින් සුවිශේෂී වූ සිදුවීම මම ඔබ හමුවේ තබමි.

 එවක ලංකාවේ ජනාධිපති ධුුරය හෙඹවූයේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ය. 1993 අපේ‍්‍රල් 23 වැනි දින ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය සිදුවිය. කිරුළපන මහජන ක‍්‍රීඩාංගණයේ දී පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පළාත් සභා මැතිවරණය අවස්ථාවේ පැවැති රැස්වීමේ දී එතුමා නාඳුනන වෙඩිකරුවකුගේ වෙඩි පහරට ලක් වී මරණයට පත් වූවේය.

 ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් නො නැවතුණ සෙනසුරු එවක ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ රණසිංහ පේ‍්‍රමදාසයන් ද මරු වසඟයට ගතයුතු යැයි තීරණය කර තිබුණි. එම තීරණය මත 1993 මැයි මස 01 වැනිදා (කම්කරු දිනයදා) කම්කරු රැුළියේ ගමන් කරන අතරේ ආමර්වීදිය මං සන්ධියේ දී බෝම්බයක් පිපිරීමෙන් එතුමා ඝාතනය විය.

 පුරප්පාඩු වූ ජනපති ධුරය සඳහා ඒ වනවිට අගමැති ධුරය දරන ලද ඞී. බී. විජේතුංග මහතා නම් කරන ලදී. 1994 දී මහා මැතිවරණයක් කැඳ වූ විජේතුංග ජනාධිපතිතුමා චන්ද්‍රිකා කුමාරතුංගයන් ප‍්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණට රජයක් පිහිටු වීම සඳහා අවස්ථාව ලබා දුන්නේය.

 සෙනසුරු ගෝචරයෙන් ලග්න භාවයේ ගමන් කරද්දී රටට යහපතක් උදා කළේ නැති බව 1993 දී සිදු වූ දේශපාලන නායකයන්ගේ ඝාතන දෙස ආපසු හැරී බැලීමේදී අපට පසක් වේ. 1964 දී සිදු වූ සෙනසුරු මාරුවෙන් වසරක් ගතවීමටත් ප‍්‍රථම, 1964 දෙසැම්බර් 17 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක ඇමැතිනියගේ රාජාසන කතාව පරදවා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පළමු පෙළ සාමාජිකයකු වූ සී. පී. ද සිල්වා මහතා විපක්‍ෂය සමග එක් විය. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැරිය නොහැකි පාඩුවක් විය. 1965 මාර්තු 22 වැනිදා පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය, අගමැති ඩඩ්ලි සේනානායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් තවත් හවුල් කාර පක්‍ෂ කිහිපයක් එක්කර ගනිමින් නව රජයක් බිහි කරන ලදී.

 මා ඉහතින් දක්වන ලද්දේ සෙනසුරු කුම්භ රාශි ගතවූ අවස්ථාවල දී සිදු වූ දේශපාලන පෙරළි කිහිපයක් ගැන පමණි. තවත් බොහෝ සිදුවීම් සිදු වූවද, මෙම ලිපිය දික්වන බැවින් ඒ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡුා කිරීමට අදහස් කරනෙමි.

 අපි දැන් නැවතත් අපේ‍්‍රල් මස 29 වැනි දින පෙරවරු 7.52ට සිදුවන සෙනසුරු මාරුව දෙසට හැරෙමු. අතීතයේ සිදු වූ සෙනසුරුගේ කුම්භ රාශි ගතවීම පිළිබඳව විමර්ශනය කරනවිට දී මෙවර සිදුවන සෙනසුරු මාරුව පිළිබඳව ද අඩුවෙන් තක්සේරු කිරීමට කිසි විටෙකත් නොහැක. සෙනසුරු මකරයේ ගමන් කළ පසුගිය වසර දෙකහමාර තුළ දී අරඹන ලද විනාශයේ ව්‍යාපෘතිවල ආදීනවයන්හි විපාක භුක්ති විඳීමේ කාලය දැන් පැමිණ ඇති බව එක හෙළා පැවසීමට පුළුවන.

 අධිවේග මාර්ග ඉදිකරන්නට සෑම බලවත් විපක්‍ෂයකම අය පක්‍ෂ, විපක්‍ෂ භේදයකින් තොරව පොරකෑවේ ජනතාවට වාසනාව උදාකර දීමට නොවන අතර ඔවුන්ගේ වාසනාව උරගා බැලීමට බව නො රහසකිනි. වැඩි දිනක් ගතවන්නේ නැත. අපේ‍්‍රල් 29 වැනිදාට තව ඇත්තේ අද සිට දින 47 කි.

 සෙනසුරු මාරුවත් සමග අප රට තුළ ප‍්‍රබල දේශපාලන පෙරළි රැසක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ පිළිබඳව ජනතාව වශයෙන් අප සියලූ දෙනා ම විමසිල්ලෙන් හා අවධියෙන් සිටිය යුතුය. ‘‘හිස රදේට කොට්ට මාරු කර ඵලක් තිබේ ද?’’ අපි අපෙන් ම ඇසිය යුතුය. කාලය සියල්ල කඩිනමින් විසඳනු ඇත. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ලූ… ඔබටත් මටත් ඉදිරියේදී ඒවා බලාගත හැක.

‘හිස රදේට කොට්ට මාරු කිරීමෙන්’ සෙනසුරු අපලය සමනය වෙයි ද?


පාරම්පරික ජ්‍යොතිෂවේදී
 දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
 0776283097

advertistmentadvertistment
advertistmentadvertistment