හුස්ම ඉල්ලා හඬා වැටෙන ‘කදුරුගස්දමන වැව් කොමලිය’ බලධාරීන්ගේ අවධානයට

199

නිලන කෙත් වතු සරුසාර ගෙවතු පිණිස අඩු නැතිව දිය සම්පත පුදන ‘කදුරුගස්දමන වැව’ ඉදිකොට මේ වනවිට දශක හතරක පමණ කාලයක් ඉක්ම ගොස් ඇත. වර්ෂ 1982 දී එවකට මෙරට ජනපති ජේ. ආර්. ජයවර්ධන විසින් මුල්ගල් තබන ලද මෙම වැව ඉදිකිරීමෙන් අනතුරුව එහි මංගල දියවර මුදාහරිනු ලබන්නේ ද එතුමන් විසින්ය.

එතැන් සිට මේ දක්වා යල මහ කුඹුරු අක්කර 300ක් සඳහා හිඟයකින් තොරව දිය සම්පත බෙදන ‘කදුරුගස්දමන වැව’ අවශේෂ වැව් 13කින් පෝෂණය ලබන සාර සම්පතක් ලෙස ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ගෞරව බහුමානයට පත්ව ඇත. අනුරාධපුරය රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 116 කදුරුගස්දමන තුලානට අයත් කදුරුගස්දමන වැව කලක පටන් ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලා සිටිය ද ප්‍රදේශයේ ගොවි සංවිධාන ඇතුළු බලධාරින් කිසිවෙක් ඒ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකොට නැත. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵලය බවට පත් ඇත්තේ ජල තලය විසින් ඇති කරන ලබන පීඩනය හේතුවෙන් මේ වනවිට වැව් බැම්ම දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇත.

හුස්ම ඉල්ලා හඬා වැටෙන 'කදුරුගස්දමන වැව් කොමලිය' බලධාරීන්ගේ අවධානයට

ඒ සම්බන්ධව අදහස් පළ කරමින් ගම්වැසියන් කියා සිටින්නේ මේ වනවිටත් වැව් බැම්මෙන් 90%ක පමණ ප්‍රමාණයක් හානියට පත්ව ඇති බවත් ඉදිරි මාස කීපය තුළ උදාවීමට නියමිත මාස් කන්නයේ වැස්සත් සමග වැව් බැම්ම කඩාගෙන යෑමේ දැඩි අවදානමක් පවතින බවත්ය. මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇතත් මේ දක්වා ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බව සඳහන් කළ ගම්වැසියන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පවතින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී තමන් උපන් ගම් බිම් පවා හැර යෑමේ අවදානමක් පවතින බවක්ය. එබැවින් කඩා වැටීමට නියමිත වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම අදාළ බලධාරීන් විසින් තවදුරටත් පැහැර නොහැරිය යුතු වගකීමක් බවට පත්ව ඇත. තවදුරටත් එම වගකීම පැහැර හැරීම තුළ ජීවිත හානි පවා සිදුවිය හැකි බව ගම්මුන්ගේ මතය බවට පත්ව ඇත. මධ්‍යම වාරි කර්මාන්තයට අයත් වැවක් ලෙස කදුරුගස්දමන වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළ රටට බත බුලත මෙන්ම පවුල් හතළිකට ආසන්න පිරිසකගේ ජීවත් වීමේ අයිතිය ද සුරක්ෂිත වනු ඇත. ප්‍රදේශයේ වාරි කර්මාන්තය පිණිස වගකියන මහත්වරුනි, එබැවින් කදුරුගස්දමන වැව හැකිතාක් කඩිනමින් පිළිසකර කර දෙනු මැනවි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment