හෙට එච්චර කළුවර නෑ… ලෝක සංචාරක ඇස ශ්‍රී ලංකාව දෙසට…

778

නොවැම්බර් මස මුල් සති දෙක තුළ පමණක් සංචාරකයින් 19,222ක්..!

ජනවාරි සිට මේ දක්වා සංචාරකයින් 80,310ක් මෙරටට පැමිණෙයි

සංචාරක ආකර්ෂණීය ස්ථාන 5500ක්

අළුත් සංචාරක ව්‍යාපෘතීන් 22ක් පිණිස රජයේ අනුමැතිය

සතියක් තුළ ප‍්‍රංශයට ගුවන් ගමන් වාර තුනක්

රටවටා පිහිටි මනරම් වෙරළ තීරය උණුසුම් හිරු එළියෙන් යුක්තය. රට මැද පිහිටි මධ්‍යම කඳුකරය හා ඒ ආශ‍්‍රිත කලාපය සෞම්‍ය දේශගුණික තත්ත්වයන්ගෙන් පොහොසත්ය. එපමණක් නොව වියළි රජරට ඇතුළු තවත් ප‍්‍රදේශ රැසක සංචාරය කිරීමේදී ඉපැරණි රාජධානිවලට අයත් නටඹුන් ආදිය දැකබලා ගතහැක. එම අසිරිමත් විසිතුරු දෑ දැක බලා ගැනීම පිණිස ලක්‍ෂ සංඛ්‍යාත විදේශ සංචාරකයන් වාර්ෂිකව මෙරට පැමිණෙන්නේ එක් රටක් තුළ විවිධත්වයෙන් අනූන බොහෝ දේ දැකබලා ගැනීමේ අභිලාෂයෙන් යුතුවය. එපමණක් නොව ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගැනීම සහ සංස්කෘතිකාංග නැරඹීම ආදිය මුල්කර ගනිමින්ද සංචාරය පිණිස මෙරට පැමිණෙන විදේශිකයන් බොහෝය.

මෙරට ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයමින් දිනෙන් දින දියුණු වූ සංචාරක ව්‍යාපාරය යුද්ධය පැවැති සමයේ එක්තරා ආකාරයක බිඳ වැටීමකට ලක්විය. ඊට හේතුව බවට පත්වුයේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ වූ ප‍්‍රතිරූපය හේතුවෙන්ය. යුද්ධය නිම වීමත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරය යළි හිසඔසවන්නට ගත් අතර යුද්ධය නිමාවට පත් වී වසර 10ක පමණ කාලයක් ගතවීමට මත්තෙන් 2018 වර්ෂයේදී පමණක් විදේශීය සංචාරකයන් ලක්‍ෂ විසිතුනක් මෙරටට පැමිණ ඇත. ඒ හරහා යළි පිබිදුණු සංචාරක ව්‍යාපාරයට නැවත ‘මරු පහරක්’ එල්ල වන්නේ පාස්කු ප‍්‍රහාරයත් සමඟය. ඒ හේතුවෙන් නැවතත් සංචාරක ව්‍යාපාරය බරපතළ කඩා වැටීමකට ලක්විය.

හෙට එච්චර කළුවර නෑ… ලෝක සංචාරක ඇස ශ්‍රී ලංකාව දෙසට…

ඉන් අනතුරුව බලයට පැමිණි වත්මන් රජය විසින් ජාතික ආරක්‍ෂාව මුළුමනින්ම තහවුරු කිරීමට කටයුතු කිරීමත් සමඟ නැවතත් සංචාරක ව්‍යාපාරයට ‘හොඳ කලක්’ උදාවිය. ප‍්‍රංශය,ඉතාලිය, ජර්මනිය, වැනි යුරෝපා රටවල් මෙන්ම ලොව තවත් රටවල් රැසක සංචාරකයන් තම නිවාඩුව ගත කිරීම පිණිස මෙරට තෝරා ගත් අතර චීන සහ ඉන්දියානු ජාතිකයන් වැඩි වශයෙන් මෙරට පැමිණෙන ආකාරයක් ඉකුත් වර්ෂ කීපය තුළ ප‍්‍රවණතාවයක් ලෙස දැකගත හැකි විය.

එවැනි වටපිටාවක් තුළ රට තුළ පැන නැඟුන කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉහත සඳහන් සුබවාදී ලක්‍ෂණ මුළුමනින්ම බිඳ වැටීමකට ලක්විය. ඒ වනවිට සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිත රැකියාවන්හී නිරත ලක්‍ෂ 30කට අධික පිරිසකට ඔවුන්ගේ රැකියා අහිමි විය. එම පිරිස අතරට සංචාරක රියැදුරන්, සංචාරක මඟ පෙන්වන්නන් මෙන්ම එම ව්‍යාපාරය ආශ‍්‍රිතව රැකියා කළ විශාල පිරිසක් අයත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ නිරත වෘත්තීන් අහිමි වූ ඇතැමුත් වෙනත් වෙනත් ආදායම් මාර්ග පිණිස යොමු වූහ. එපමණක් නොව, සංචාරක ක්ෂේත‍්‍රය තුළ පැන නැඟුන ගැටලූ මුල් කරගනිමින් උද්ඝෝෂණ විරෝධතා ආදියෙහි පවා නිරත වෙමින් තම ඉල්ලීම් දිනා ගැනීම පිණිස කටයුතු කරන ආකාරයක් දැකගත හැකිවිය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ රජය ඔවුන්ගේ ඉල්ලීම් පිණිස යම් සාධාරණයක් සිදු කිරීමට කටයුතු කළ ආකාරයක්ද දැක ගත හැකිවිය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ මැදිහත් වීම් මත විවිධ සහන සැලසූ බවද සඳහන් විය.

එම සහන ලබා ගැනීමේදී ක්ෂේත‍්‍රයේ නිරත ඇතැම් පිරිස් වෙත සහන හිමි නොවූ ආකාරය පිළිබඳව විවිධ වාර්තා පළ විය. ඒ සම්බන්ධව අප විසින් සිදු කළ සොයා බැලීමකදී හෙළි දරව් වූ කරුණුවලට අනුව එම සහන නොලැබූ පිරිස් ඒ වනවිට ද සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවූ සාමාජිකයන් බව තහවුරු වූහ. සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිත රැකියාවන්හි නිරත ලක්‍ෂ 30කට ආසන්න පිරිස අතරින් ඒ වනවිට එහි ලියාපදිංචිව සිටි සාමාජිකයන් පිරිස පන්දහසක් හයදහසක් අතර සුළු පිරිසක් බව එම සොයා බැලීමේදී තහවුරු වූ වැදගත් කරුණක්ය.

මේ වනවිට රට තුළ සිදු කරන ස‍්‍රීඝ‍්‍ර එන්නත් කරණය හේතුවෙන් රට තුළ තරමක් දුරට යහපත් වටපිටාවක් නිර්මාණය වෙමින් ඇත. රට නැවත විවෘත වන්නේ ඒ අනුවය. රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය ඇතුළු අනෙකුත් කර්මාන්ත, ව්‍යාපාර ආදියද නැවත සක‍්‍රීය වෙමින් ඇත. එහිදී සංචාරක ව්‍යාපාරය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීම පිණිස රජය විසින් කටයුතු කරමින් ඇත. කොවිඞ් සුරක්‍ෂිත රටක් ලෙස මෙරට හඳුන්වාදීමටත් 2022 වර්ෂයට අදාළව සංචාරක ආකර්ශනීය ස්ථාන 5500ක් පමණ හඳුනාගෙන පස්වැදෑරුම් වැඩ පිළිවෙළක් යටතේ එවැනි ස්ථාන වැඩිදියුණු කිරීමටත් රජය විසින් ඉදිරි වර්ෂයේදී කටයුතු කිරීමට නියමිතව ඇත.

  • වත්මන් තත්ත්වය
හෙට එච්චර කළුවර නෑ… ලෝක සංචාරක ඇස ශ්‍රී ලංකාව දෙසට…

නොවැම්බර් මස මුල් දෙසතිය තුළ පමණක් සංචාරකයන් 19222 ක් මෙරටට පැමිණ සිටින අතර මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස මුල් දෙසතිය දක්වා සංචාරකයන් 80310 ක් මෙරටට පැමිණ ඇත. සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන්කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංචාරක අධ්‍යයන අංශය විසින් ඉකුත්දා කොළඹදී සංවිධානය කරන ලද Sri Lanka Tourism Expo 2021 සංචාරක ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්ය. කොවිඞ් වසංගතයෙන් පසුව මෙරට පැවැත්වෙන පළමු සංචාරක ප‍්‍රදර්ශනය ද එය වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර එම ප‍්‍රදර්ශන කුටි සංඛ්‍යාව 50ට සීමාකර තිබීමද විශේෂත්වයක්ය. මෙරට ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සේවා ආයතන මේ සඳහා සිය ප‍්‍රදර්ශන කුටි ඉදිරිපත්කර තිබිණි.

එහිදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සංචාරක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙරට සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැඟිය හැක්කේ සෞඛ්‍යාරක්‍ෂිතව රටට සංචාරකයන් ගෙන්වීමෙන් බවත් එය සංචාරක කර්මාන්තයට ලබා දිය හැකි හොඳම සහනය බවත් සඳහන් කළ අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ පැලැස්තර විසඳුම්වලින් පමණක් සංචාරක ව්‍යාපාරය ගොඩගත නොහැකි බවය. කොවිඞ් එන්නත්කරණයට සමගාමීව රට සංචාරකයන්ට විවෘත කිරීම තුළ මෙම ක්ෂේත‍්‍රය හැර ගිය විශාල පිරිසක් නැවත ක්ෂේත‍්‍රයට එක් වනු ඇතැයි විශ්වාසය පළකළ අමාත්‍යවරයා ඒ සම්බන්ධව තව දුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී ඔවුන්ගේ ජීවනෝපාය සුරක්‍ෂිත කිරීම පිණිස දැනටමත් රජයේ අවධානය යොමු වී ඇති බවක්ය. රට විවෘත කිරීමෙන් අනතුරුව මෙවැනි සංචාරක ප‍්‍රදර්ශන, සමුළු සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්වීම තුළ යළිත් සංචාරක ව්‍යාපාරයට යහපත් කලදවසක් උදාවනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළකොට ඇත.

හෙට එච්චර කළුවර නෑ… ලෝක සංචාරක ඇස ශ්‍රී ලංකාව දෙසට…

මේ අතර ඉකුත් 09 දා ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති ප‍්‍රංශ සංචාරක නියෝජිත ආයතන සාකච්ඡාවකට සහභාගි වෙමින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ මෙම මස අවසන් වීමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත‍්‍රයේ නියුතු පිරිස් සඳහා කොවිඞ් බූස්ටර් එන්නත ලබා දී අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් ඒ හරහා ශ‍්‍රී ලංකාව සංචාරකයන් පිණිස කොවිඞ් සුරක්‍ෂිත රටක් ලෙස පත් කිරීම රජයේ අපේක්‍ෂාව බවට පත්ව ඇති බවත්ය.

එහි සාධනීය පියවරක් ලෙස ශ‍්‍රී ලංකාව හා ප‍්‍රංශය අතර ශ‍්‍රී ලංකා ගුවන් සමාගම හා ප‍්‍රංශ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම ඒ හරහා දෙරට අතර සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම හරහා ප‍්‍රංශ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිණිස සංචාරක සංවර්ධන අධිකාරිය හා ප‍්‍රංශ ගුවන් සේවය අතර ඒකාබද්ධ ප‍්‍රවර්ධන වැඩසටහනක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. පසුගිය 05 වැනිදා සිට ශ‍්‍රී ලංකාව හා ප‍්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ වන්නේ එහි සමාරම්භක පියවරක් ලෙසය. සතියක් තුළ ගුවන් ගමන් වාර 03ක් ඒ අනුව ක‍්‍රියාත්මක වීමට නියමිතය.

  • අනාගතය
හෙට එච්චර කළුවර නෑ… ලෝක සංචාරක ඇස ශ්‍රී ලංකාව දෙසට…

ඉහත සඳහන් ‘‘සූදානම්වීම්’ හරහා සනාථ වෙමින් පවතින්නේ ලොව පුරා සංචාරකයන් පිළිගැනීම පිණිස ශ‍්‍රී ලංකාව නැවත වරක් සූදානම් වෙමින් පවතින බවක්ය. එය මෙරට සංචාරක ව්‍යාපාරයේ නිරත ලක්‍ෂ 30කට ආසන්න පිරිසට පමණක් නොව ජාතික ආර්ථිකය යහපත් දිශානතියක් දක්වා ගමන් කිරීමට නියමිත බව හඟවන කොළ එළියක් බඳුය.

රළ විසින් වෙරළට රැගෙන එන කවඩියේ සිට තරු පන්ති හෝටල් දක්වා සෑම අංශයක්ම නියෝජනයවන ජාලගත ව්‍යාපාරයක් වන සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීම තුළ රටට හිමිවන ආර්ථික ප‍්‍රතිලාභ බොහෝය.

කොවිඞ් වසංගත මධ්‍යයේ වුවද පසුගිය මාස 09ක කාලයක තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 101ක සංචාරක ආයෝජන ඉදිරිපත්ව තිබෙන තවත් එම ආයෝජන යෝජනා සංඛ්‍යාව 33ක් බවත් සඳහන් කරන සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එම යෝජනා අතරින් ව්‍යාපෘතින් 22ක් පිණිස මේ වනවිට අනුමැතිය ලබා දී ඇති බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක අගයක් ගන්නා බවත්ය.

හෙට එච්චර කළුවර නෑ… ලෝක සංචාරක ඇස ශ්‍රී ලංකාව දෙසට…

ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයේ හෙට දවස ඉදිරියේදී තව තවත් යහපත් වීමට නියමිතය එපමණක් නොව ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයේ කිසියම් කඩා වැටීමක් සිදු වුවහොත් එම රැකියා ක්ෂේත‍්‍රයේ නිරත සාමාජිකයන්ගේ රැකියා සුරක්‍ෂිත කරනු වස් ක‍්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්‍ෂණ වැඩ පිළිවෙළක් ක‍්‍රියාවට නැංවීම පිණිසද මේ වනවිට රජයේ අවධානය යොමු වී ඇත. එනයින් ගත් කළ මෙරට ආර්ථිකයට යෝධ ශක්තියක් සපයන කර්මාන්තයක් ලෙස සංචාරක ව්‍යාපාරය රට තුළ ඉදිරියේදී සෑම අංශයකින්ම ශක්තිමත් වනු ඇත. රට අපේක්‍ෂාකර සිටින්නේද එවැනි ගුණාත්මක වෙනස්කම් සහිත සංචාරක ව්‍යාපාරයක්ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප අනුග‍්‍රහය සහ
ගුවන්තොටුපල වාර්තා –
ප‍්‍රදීප් අනුර කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment