හෙට කළුවර නොවීමට නම්

649

අපට ඩොලර් නොමැත. එනිසාම කලට වේලාවට තෙල් ගෙන්වීමට බැරිය. තෙල් නැති විට විදුලි බලාගාර දුවන්නේ නැත. අද පැය පහකට වැඩියෙන් ජනතාවට අඳුරේ සිටීමට සිදුවීමට තිබෙන්නේ ඒ නිසාය.

ඩොලර් සංචිත හිඟයට ප‍්‍රධාන හේතුව අප වෙත ලැබුණු විදේශ පේ‍්‍රෂණ අහිමි වීමයි. අනෙක් අතට සංචාරක ව්‍යාපාරයේ ඇතිවූ අර්බුදයයි. සමස්ත සංචාරක ව්‍යාපාරය හිස ඔසවද්දී රුසියාව සහ යුක්රේනය යුද ප‍්‍රකාශ කිරීම නිසා එයින් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට යම් බලපෑමක් සිදුවන බවට ඉඟියන් පළවෙමින් තිබේ. පසුගිය පෙබරවාරි 11 වැනිදා වනවිට මේ රටට පැමිණි විදේශීය සංචාරකයින් ප‍්‍රමාණය 113670 කි. ඉන් 18044ක්ම (15.8%) රුසියාවෙන්ය. යුක්රේනයෙන් පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය 9883(8.7%) කි. මේ අතර අපගේ ප‍්‍රධාන තේ අපනයන ගැනුම්කරුවා වන්නේ රුසියාවයි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 150ක තේ අපේ රටින් මිලදී ගනු ලැබේ. මේ අතර මෙම යුදමය වාතාවරණය නිසා පෙරේදා වන විට ලෝක තෙල් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 102 ඉක්මවා ඉහළ ගියේය. මෙම අර්බුදකාරී වාතාවරණය නිසා ඉදිරියේදී අප රටට ඉතා අහිතකර දුෂ්කර කාල පරිච්ෙඡ්දයක් පැමිණිය හැකිය. දැනටම අර්බුදයේ කරවටක් ගිලී සිටින අප රටට ජාත්‍යන්තරව සිදුවන අහිතකර බලපෑම නතර කර ගැනීමට නැතහොත් කළමනාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් අපට සිදුවනුයේ අර්බුදයේ ගිලී සිය දිවි නසා ගැනීමටය. එවැන්නක් නොවේවායි අපි ප‍්‍රාර්ථනා කරන අතරම ඊට මුහුණදීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට මේ මොහොතේ සියලූ දෙනා පාට පක්ෂ නොතකා එක්විය යුතුව තිබේ.

තෙල් අර්බුදයත් සමඟ ඇතිවූ ලයිට් කැපිල්ල අපේ රටේ රෝහල් පද්ධතියට සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ. දිවයිනේ ප‍්‍රධාන රෝහල්වල ජෙනරේටර් පහසුකම් ඇතත් දුෂ්කර ග‍්‍රාමීය රෝහල්වල එවැනි පහසුකම් නැත. අනෙක් අතට ජෙනරේටර් තිබුණත් ඉන්ධන නොලැබුණොත් ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත. විශේෂයෙන් කොරෝනා උවදුර අප රටෙන් මුළුමනින් බැහැර නොවූ අවස්ථාවක රෝහල් පද්ධතියට විදුලිය ලබාදීමේ ප‍්‍රශ්නයක් ඇති වුණොත් එහි අනිසි ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට අපට සිදුවනු ඇත.

ඉන්ධන හිඟය නිසා ඇතිවෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බව ජාතික ජලසම්පාදන සේවක සංගමය පවසයි. ජල පිරිපහදුව මෙන්ම ජල පොම්පාගර සියල්ල ක‍්‍රියාත්මක කරනුයේ විදුලි බලයෙනි. විදුලිය විසන්ධි කරන අවස්ථාවලදි මේවා ක‍්‍රියාත්මක කළ නොහැක. ඒ තුළ ජල සැපයුම අඩාළ වුවහොත් මුළු රටේම ජනතාව පීඩාවට පත්වෙනු ඇත.

ආයෝජන කලාප ආශ‍්‍රිතව විදුලිය කැපීමක් සිදුනොවේ. ඒවා තුළ සිදුවන නිෂ්පාදන ක‍්‍රියාවලියට බාධා ඇතිවිය හැකි නිසා එවැනි පියවරක් ගෙන ඇත. එහෙත් ආයෝජන කලාපයෙන් පිටත කර්මාන්ත ශාලාවලට විදුලිය කැපෙන නිසා එය අපේ නිෂ්පාදන ක‍්‍රියාවලියට බාධාවක් වීමට ඉඩ ඇත. ජෙනරේටර් වැනි විකල්ප ක‍්‍රියාමාර්ග ඒ සඳහා යොදාගත හැකි වුවද ඉන්ධන ලබාගැනීමේ යම් ප‍්‍රමාදයක් සිදුවුවහොත් ඒවාද ක‍්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. එනිසා රටට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සපයා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යය. ඩොලර් අර්බුදය හමුවේ රජයට එය විශාල ආයෝජනයක් බව සැබෑය. එහෙත් මේ මොහොතේ විසඳා ගත යුතුම ප‍්‍රශ්නය වන්නේද එයමය.

ඩොලර් සංචිත හිඟය සහ බලශක්ති අර්බුදය මේ මොහොතේ එකිනෙකට බැඳී ඇති බව පෙනේ. ඩොලර් සංචිත හිඟය මඳකට අමතක කළහොත් අප රටට මෙතරම් බලශක්ති අර්බුදයක් ඇතිවූයේ කෙසේද යන්න දැන්වත් සොයා බැලිය යුතුය. බොහෝ දෙනා පවසන්නේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා මාෆියාවක් කලක් තිස්සේ ක‍්‍රියාත්මක වන නිසා අප රටේ බලශක්ති අර්බුදය නිර්මාණය වූ බවයි. අප රටට මුළු අවුරුද්ද පුරාම ඉතා හොඳින් සූර්යාලෝකය ලැබුණත් එය අප රටේ විදුලි නිෂ්පාදනයේ ප‍්‍රධානම අංගයක් බවට පත්කරගෙන නැත. නවීණ තාක්ෂණය ඔස්සේ මුහුදු රළෙන්ද නිපදවිය හැකිය. සුළු විදුලි බලාගාර යම් ප‍්‍රමාණයක් තිබුණද එයද මීට වඩා ව්‍යාප්ත කළ හැකිය. රටට ප‍්‍රශ්නය වූ කුණුවලින්ද විදුලිය ජනනය කළ හැකිය. ජලවිදුලි බලාගාරයන් අප රටේ විදුලි පද්ධතියට යම් සැලකිය යුතු විදුලි ධාරිතාවක් එක් කළද එය රඳා පවතිනුයේ ජලාශවලට ලැබෙන ජල ප‍්‍රමාණය අනුවය. එහෙත් අපි කලින් සඳහනකළ් විකල්ප විදුලිබල නිපදවීම් අප තවදුරටත් ප‍්‍රමාද කළ යුතු නැත. සුද්දන්ගෙන් නිදහස ලබා අවුරුදු 74ක් ඉක්ම යන තැනදීත් අපට පිටරටින් එන තෙල් නැව් දිහා බලාගෙන සිටීමට සිදුවීම ඛේදවාචකයකි. මේ ඛේදවාචකයේ නිර්මාණකරුවන් වන්නේ මේ රටේ අහිංසක ජනතාවට සක්සුදක්සේ පැහැදිලිය. අහිංසක ජනතාවගේ කතිරයේ බලයෙන් රට කරවනවයි කියා බලය අතට ගත් සෑම ආණ්ඩුවක්ම මේ සඳහා වගකිව යුතුය. හෙට එච්චර කළුවර නොවීමට නම් දේශපාලනයේ කළු වලාවෙන් වැසී ඇති මේ සත්‍යය එළියට ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment