හෙට දැයෙන් සමුගන්නා සනත් නන්දසිරි නම් වූ සංගීතවේදී සාහිත්‍යධරයා

481

පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ සහ පණ්ඩිත විමල් අභයසුන්දරයන්ගේ අදහස් ඇසුරිනි.

1942 පෙබරවාරි මස 15 වැනිදා මෙලොව එළිය දුටු ඔහු, 2023 මාර්තු මස 28 වැනිදා තම 81 වසරක දිවි සැරිය නිමා කළේ මෙරට කලා ක්‍ෂේත්‍රයේ නව පරපුරකට නවමං තැනූ පුරෝගාමී මෙහෙවරක නිරත වූ විශිෂ්ට සංගීතඥයකු, ගායන ශිල්පියකු, සංගීත අධ්‍යක්‍ෂවරයකු සහ ගුරුවරයකු වශයෙනි.

සනත් නන්දසිරි නම් වූ යුග යුග දිළෙන ගී නිර්මාණ සිය දහස් ගණනක් රසික සමූහයා වෙත තිළිණ කළ මහා සංගීතවේදියාණන් බොහෝ දෙනා හඳුනාගන්නේ ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව ‘සංගීත් නිපුන්’ උපාධිය ලැබීමත්, එම උපාධිය හිමිකර ගත් ප්‍රථම ලාංකිකයා වශයෙනි. නැතිනම් ගායන හා වාදන විශාරද උපාධි ලැබීමෙන් පසුව පාසල් ගුරුවරයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, මහාචාර්ය, පීඨාධිපතිවරයකු, චිත්‍රපට හා ගුවන්විදුලි ගී තනු නිර්මාණකරුවකු හා ජනප්‍රිය ගායකයකු හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙනි. නමුත් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ කරුණක් වන්නේ සනත් නන්දසිරි මහතා ලේඛකයකු වශයෙන් මෙරට කලා ක්‍ෂේත්‍රයට ලබාදුන් සුවිශේෂී දායකත්වයයි.

සංගීතය විෂයයක් වශයෙන් හැදෑරූ අප හට එකල අධ්‍යයනය කිරීමට සිදුවූ අගනා වටිනා කෘති කීපයක් වශයෙන් සනත් නන්දසිරි මහතා විසින් රචිත සංගීතාංගී (සංගීතයේ සිද්ධාන්ත), අමරණීය භාරතීය සංගීතවේදියෝ, තනුව, භාරත ජීවිතයේ චමත්කාරය, රාගාලංකාරය වැනි ග්‍රන්ථ හඳුන්වාදිය හැකිය.

මෙම කෙටි සටහනෙන් අප ඔබ වෙත අවධානය යොමු කරන්නේ මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා විසින් රචිත මහානර්ඝ ග්‍රන්ථ දෙකක් වන සංගීතාංගී (රත්න පොත් ප්‍රකාශනයකි) සහ අමරණීය භාරතීය සංගීතවේදියෝ (සරසවි ප්‍රකාශනයකි.) ග්‍රන්ථ ද්විත්වයයි. පහත සටහන ගොනු වන්නේ එදා එම ග්‍රන්ථ පිළිබඳව මෙරට පහළ වූ සුවිශේෂී පුද්ගලයන් දෙදෙනකු වූ දැයෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ශූරීන් සහ පණ්ඩිත විමල් අභයසුන්දර ශූරීන් පළ කළ අදහස් ඇසුරිනි.

  • පණ්ඩිත විමල් අභයසුන්දර

“සංගීතාංගී යනු සංගීතයෙහි අංග ධ්වනිත කරන්නේ යැයි අර්ථකථනය කළ හැකිය. ග්‍රන්ථ නාමයක් ලෙස ස්ත්‍රී වාච්‍යයෙන් යොදාගෙන ඇත්තේ පෙරදිග සංස්කෘතික මහා සම්ප්‍රදායෙහි ගුරුමගට අනුරූප වීමටය. සංගීතාංගී නම් මතින්ම වියත් වන්නේ සංගීත ශික්ෂණය පිළිබඳ අධ්‍යයනයක් ලබාදෙන ශාස්ත්‍රීය කෘතියක් බවයි. ‘සංගීතාංගී’ කර්තෘ සනත් නන්දසිරිය. භාරතීය රාගධාරී සම්භාව්‍ය සංගීතයේ සියුම් ශික්ෂණාංග ගුරු මුවින් ගැඹුරට හදාළ ඔහු සංගීත විශාරදය, වාද්‍ය විශාරදය, සංගීත් නිපුන්ය. ඔහු පුරා වසර 34කට අධික කාලයක් සංගීතය ඉගැන්වීමෙහි නිරත කෘතහස්ත සංගීතාචාර්යවරයෙකි. මෙබඳු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට ඔහු අතිශයින්ම සුදුසු වෙයි.

සනත් නන්දසිරිගේ රුචිර ගායනය ත්‍රිස්ථාන ශෝභී වෙයි. මන්ද්‍ර, මධ්‍ය හා තාර යන ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථාන ශෝභී ගුණයයි. ඔහුගේ කටහඬ ගම්භීර ප්‍රකෘතියෙන් යුක්තය. එහෙත් ලලිතය කෝමලය.

සතතාභ්‍යාසයෙන් ස්වකීය සංගීත ඥානය වර්ධනය කර ගැනීමට වෙහෙසෙන ඔහුගේ සංගීත සාධනාව සිසු සිසුවියන් අතර නවතම දැනුම් වඩන්නට බලපෑම් කරන්නේය. මනා පළපුරුද්දකින් ඔහු ලැබූ දැනුම, පොතක් සේ ප්‍රකාශයට පැමිණවීම සිංහල සංගීත සාහිත්‍යයේ ප්‍රවර්ධනයට අත්වැල් සපයයි.

  • පණ්ඩිත් ඩබ්. ඩී, අමරදේව

“භාරතීය මහා සංගීත සම්ප්‍රදාය පෝෂණය කළ අමරණීය ගුරු පරපුර පිළිබඳ සවිස්තර ලේඛනයකින් සමලංකෘත ‘අමරණීය භාරතීය සංගීතවේදියෝ’ නම් වූ මෙම ග්‍රන්ථ රත්නය, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන් විසින් ශ්‍රී ලාංකේය සංගීත විද්‍යාර්ථින් වෙත ප්‍රදානය කෙරෙන මහා දායාදයක් බව පවසනුයේ ඉමහත් සොම්නසිනි.”

“විද්‍යා දදාති විනයං – විනයාද්‍යාති පාත්‍රතාමි”

“පුර්වෝක්ත චිරන්තන කාව්‍ය ඛණ්ඩයෙන් ප්‍රකාශිත අරුත විමසත්, විද්‍යාවෙන් විනය සාධනය වන බවද, විනය කවර හෝ විද්‍යාවක් ප්‍රගුණ කිරීමෙහිලා යෝග්‍ය වන බවද මැනවින් පසක් වන හැටි උගත මනාය. මා මෙසේ පවසනුයේ සංගීත සාහිත්‍යාදී ලලිත සුලලිත කලාවන්හි සියවස් ගණනාවක් ඈතට දිවයන අතීත සැමරුම් රඳනා බඳනා සංගීත රත්නාකර, සංගීත පාරිජාත ආදී නැණසර, පැණසර, විද්වතුන් විසින් විරචිත ග්‍රන්ථාවලියෙහි අන්තර්ගත සනාතන ගුණයෙන් හොබනා සිද්ධාන්ත, අද්‍යයතන සංගීත ශාස්ත්‍ර විෂය ප්‍රගුණ කරන්නවුන්ගේ උන්නතිය උදෙසා උපයෝගී වන බව විවරණය කරනු පිණිසය. එපරිද්දෙන්ම සංගීත විෂයෙහි ප්‍රායෝගික හා සෛද්ධාන්තික කරුණු පිළිබඳව සුපරිචිත වූ වසර ගණනාවක් තත් විෂය සුවහසක් සිසුගණගේ යහපත සඳහා ඉගැන්වීමෙන්ද භාරතීය මහා සංගීත ආචාර්යවරුන්ගේ ඇසුරෙන්ද, සාක්ෂාත්කර ගන්නා ලද සුනිසිත බුද්ධිය උපයෝගී කර ගනිමින් සනත් නන්දසිරි නම් සංගීතවේදියාණන් විසින් සංගෘහිත ‘සංගීතාංගී’ ග්‍රන්ථය; ප්‍රචලිත සිද්ධාන්ත මෙන්ම ස්වාධීන වූ මත ප්‍රකාශයෙන්ද අලංකෘතවීම වෙසෙස් ලකුණක් සේ මම දකිමි.

අනාගත සංගීත සිසු පරපුරට එම ග්‍රන්ථ ස්වකීය ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස මහත් ඵලදායී වේවායි මම ඉතසිතින්ම පතමි. පසසමි. අගයමි.”

සංගීතයේ අපූර්වතම ආශ්චර්යය උද්ගත වන්නේ නාදය පදනම් කොටගෙනය. මුළු ලොවම නාදාත්මක යැයි පුරාණ සංගීත විද්‍යාවේදීන් පවසා ඇත්තේ මේ නිසාය. නාදයේ ආශ්චර්යය ප්‍රදීප්ත කරනු සඳහා ස්වර, රාග, තාල යන විෂයයන් සම්බන්ධ ඉතා ගැඹුරු දැනුමක් ලබාගත යුත්තේය.

‘සංගීතාංගී’ එම දැනුම ආධුනිකයනට මෙන්ම ප්‍රවීණයනට ද ලබාදෙන අත් පොතකි. එබැවින් සනත් නන්දසිරි කලාකරුවාණන් සංගීතඥයකු ගායකයකු ලෙස ගරු බුහුමනට ලක්වන්නා සේම සාහිත්‍යකරුවකු ලෙස දැක්වූ දායකත්වය ද සදා ගරු සම්භාවනාවන්ට පාත්‍ර විය යුතු බව සටහන් කළ යුතුමය.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment