හෙට සිට බස් ගාස්තු 30% කින් නගී

251

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව හෙට (30 වැනිදා) මධ්‍යම රාත්‍රි 12.00 සිට වහා ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට තිහකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම අවසර ලබාදී ඇත.

වසරක් ඇතුළත බස් ගාස්තු වැඩිවූ හයවන වතාව මෙයයි. අවසන් වරට බස් ගාස්තු වැඩි වුණේ ඉකුත් මැයි මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. එවර සියයට 19.5 කින් බස් ගාස්තු ඉහළ නැංවිණි. පෞද්ගලික බස් සංගම් සියයට තිස් පහකින් බස් ගාස්තු ඉහළ නංවන ලෙස ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා තිබූ මුත් අදාළ ගණනය කිරීම්වලින් පසුව සියයට තිස් පහකින් නොව සියයට තිහකින් බස් ගාස්තු වැඩිකිරීමට කොමිසම පොරොන්දු වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ‘දිවයින’ ට පැවැසීය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 ක් වනු ඇත. බස් සංගම් කර තිබෙන එම යෝජනාව සම්බන්ධව අවසන් තීරණයක් ඊයේ (28 වැනිදා) වනවිට ගෙන නොතිබුණත් බස් සංගම් ඉල්ලා ඇත්තේ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් කරන ලෙසය. මෙම බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුවය. ඉකුත් වසරක කාලයේදී මෙරට ඉන්ධන මිල ගණන් පස්වතාවක් ඉහළ ගිය අතර ඒ සෑම අවස්ථාවකදීම බස් ගාස්තු ද ඉහළ දැමීය. කොරෝනා වසංගතයේ අවසාන කාලයේදී බස්වල ආසන ගණනට මගීන් ගෙනයෑමේ එකඟතාව මතද බස් ගාස්තු ඉහළ දැමීය. මෙම බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේ ඉකුත් ඉරිදා (26 වැනිදා) අලුයම වසරක් තුළ හයවන වතාවටත් ඉන්ධන මිල ඉහළ දැමූ පසුවය. ඒ අනුව ටයර්, ටියුබ්, බැටරි හා අනෙකුත් සියලුම දේ සැලකිල්ලට ගනිමින් හා ඉන්ධන මිල ඉහළ යෑමද සැලකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ දැමීමට නියමිතය.

බස් සංගම් කළ යෝජනා සලකා බැලීමෙන් පසු ජාතික ගමනාගමන කොමිසම බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ නිර්දේශය අද (29 වැනිදා) ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දෙන බව මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

අවම බස් ගාස්තු සම්බන්ධ තීරණය ඇතුළු බස් ගාස්තු ඉහළ නංවීමට අදාළ කොමිසමේ නිර්දේශ ලැබුණ පසු හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට නව බස් ගාස්තු ක්‍රියාත්මක වනු ඇතැයි ඒ මහතා කීය. මෙම බස් ගාස්තු සංශෝධනයට අනුව ශ්‍රී ලංගම බස් රථ ගාස්තු ද ඉහළ යනු ඇත. මේ අතර බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ (28 දා) පස්වරුවේ බස් සංගම් අතර මත ගැටුමක් හටගැනීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගැනිණි. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ බස් සංගම් නියෝජිතයන් කොළඹදී පැවැති සාකච්ඡාවක් අතරතුරදී මෙම උණුසුම් තත්ත්වය හටගැනිණි.

එම සාකච්ඡාව සඳහා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එක්ව සිටියහ. එහිදී යෝජනා කරන ලද බස් ගාස්තු සංශෝධනයට තමන් විරුද්ධ බව පවසමින් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා නැගිට පිටව ගියේය. එම සාකච්ඡාව සඳහා එක් වූ අනෙක් බස් සංගම් නියෝජිතයන් පැවසුවේ බස් ගාස්තුව සියයට 30 කින් වැඩිකිරීමට ප්‍රවාහන බලධාරීන් එකඟ වූ බවය.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා වැඩි වූ බව ද එම සංගම් නියෝජිතයෝ ‘දිවයින’ට පැවසූහ.

උණුසුම් තත්ත්වය හමුවේ පිටතට පැමිණ මාධ්‍යට අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය.

සාකච්ඡාව ඇතුළේ බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුණා. අපිට වුණත් එකඟවෙන්න බැරි දේවල් මෙතන කතා වුණා. බස් සංගම් විදියට නොවෙයි කතා කරන්නේ, බස්වල ඉන්න සත්තු විදියට කතා කරන්නේ. ඒ නිසා මටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න බැහැ. මමත් නැඟිටලා ආවා. අපි පස්සෙ බලාගමු බස් ගාස්තුවට මොකද වෙන්නේ කියලා. ජාතික ප්‍රතිපත්තියට පටහැනිව යන්න දැන් ගොඩක් කට්ටිය ක්‍රියාත්මක වෙනවා. මට ඒකට එකඟ වෙන්න බැහැ. ජාතික ප්‍රතිපත්තියේ මම ඉන්නවා.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment