හෙණ ඉල්ලන පාර්ලිමේන්තුවටත් අල්ලස් කොමිසමේ ස්ථීර කාර්යාලයක්!

163

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සහ සමගි ජන බලවේගය පක්ෂයේ රෝහිණි කවිරත්න පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් 5) එකිනෙකාට අනතුරු ඇඟවිය. ඒ පාර්ලිමේන්තුවේදීය. චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන කාබනික පොහොරවල යෝග්‍යතාවය පිළිබඳව මන්ත‍්‍රීතුමිය ප‍්‍රශ්න කළ අවස්ථාවේ දී එම ගැටුම ඇති විය. එම මහජන නියෝජිතයින් පැවසුවේ බොරු කිවහොත් පාර්ලිමේන්තුවට හෙණ පතිත වනු ඇති බවයි. අධික වර්ෂාව පැවති තත්ත්වය තුළ එම අනතුරු ඇඟවීම සිදුවිය. අලූත්ගමගේ ඇමැතිවරයා පැවසුවේ මන්ත‍්‍රීතුමිය බොරු කිවහොත් විපක්ෂයේ ඉදිරි පෙළට හෙණ වදින බවයි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙකට එල්ල කර ගන්නා චෝදනා අනුව මෙතුවක් කල් මැතිසබයට හෙණ පතිත වූයේ නැත්තේ ඇයි දැයි යමෙකුට ප‍්‍රශ්න කළ හැකිය. පාර්ලිමේන්තුවට කෙසේ වෙතත් සමස්ත ආර්ථිකයටම දූෂණය, වංචාව, අක‍්‍රමිකතා සහ නොසැලකිල්ල යන අකුණු පිට අකුණු පතිත වී ඇත. ඉතාමත් අයහපත් වටපිටාවක් නිර්මාණය වී ඇත.

දෙපාර්ශ්වයම අවධාරණය කරන්නේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අස්ථාවරභාවයයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 145 හිමිය. අවශ්‍ය විටකදී විරුද්ධ පක්ෂ නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ සහයෝගයෙන් තුනෙන් දෙකක බලය පෙන්විය හැක. දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට විසිවැනි සංශෝධනය තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කර ගත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවශ්‍යතාවයටය. නමුත් දූෂණය, වංචාව, අක‍්‍රමිකතා ඉහවහා ගොස් ඇති තත්ත්වය තුළ ජනතාව අසරණය. දේශපාලන පක්ෂ 15 නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තුව, සමස්ත දේශපාලන ව්‍යුහය ක‍්‍රියාත්මක වන්නේ යම් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත පමණක්ද?

පාර්ලිමේන්තුව තුළ රැව් පිළිරැව් දෙන දූෂණ චෝදනා බරපතලය. නීතිය ක‍්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නේ නැත. මෙම තත්ත්වය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක‍්‍රියාත්මක වන ආකාරය විමසා බැලිය යුතුය. ලොව හෙල්ලූ ‘පැන්ඩෝරා පේපර්ස්’ සම්බන්ධයෙන් මසක් තුළ විමර්ශනයක් කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 6 දින අල්ලස් කොමිසමට නියෝගයක් දීම විමසා බැලිය යුතු වන්නේ සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලිය තුළය. මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම එදිනම සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මහා බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඉන්දියාවේ හිටපු ක‍්‍රිකට් තරුවක් වූ සචින් තෙන්ඩුල්කාර් ඇතුළු 300 කට පමණ චෝදනාවට ලක්වූවන් අතරේ නම් කර ඇති දෙදෙනාම රජය නියෝජනය කරන්නේ නැති බවයි. නමුත් ප‍්‍රශ්නය එය නොවේ. පක්ෂ දේශපාලනය අමතක කර කටයුතු කිරීම අත්‍යවශ්‍යය. චෝදනාවට ලක්වන්නේ වාර තුනක් පාර්ලිමේන්තුව නියෝජනය කළ නිරුපමා රාජපක්ෂට සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඬේසන්ටය.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ පොහොට්ටු මැති ඇමැතිවරුන් නිරුපමා රාජපක්ෂ සමඟ එක පිළේ සිටිය බව අවධාරණය කළ යුතුය. පාර්ලිමේන්තුවේ වගකීම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකට සහ ඇයගේ සැමියාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමයි. සමාජ මාධ්‍ය ජාලා පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් සිදු කරන ප‍්‍රකාශ බැහැර කළ නොහැක.

නිවැරදි ක‍්‍රියා මාර්ගයක් තුළින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ අවංකභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ඇත. අල්ලස් කොමිසම සමන්විත වන්නේ හිටපු විනිසුරුවන් වූ ඊවා වනසුන්දර, දීපාලි විජේසුන්දර සහ රාජ්‍ය ඔත්තු සේවයේ හිටපු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිස්ට ගෙන්ය. එම කොමිසමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළිය හැක. කොමිසමේ වෘත්තියභාවය ඔප්පු කළ හැක. ජනාධිපතිවරයා දුන් නියෝගය ඇත්ත වශයෙන්ම අභියෝගයකි. එය විමසා බැලිය යුතු වන්නේ මීට පෙර අල්ලස් කොමිසම කටයුතු කර ඇති ආකාරය ද සැලකිල්ලට ගැනීමෙනි. මෙහිදී නීතිපතිවරයාගේ භූමිකාව ද වැදගත්ය. යහපාලන සමයේ දී දේශපාලන ප‍්‍රබලයන්ට (එදා විරුද්ධ කණ්ඩායමේ, අද බලයේ සිටින) එරෙහිව පැවරූ බොහෝ නඩු කටයුතු තාක්ෂණික දෝෂ හේතුවෙන් අතරමඟ නවතා දැමීම සැලකිල්ලට නොගෙන වර්තමාන අභියෝගය සම්බන්ධයෙන් සැබෑ විමසීමක් කළ නොහැක.

දූෂණ, වංචා, අක‍්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා කොපමණ ප‍්‍රබලද? හේතු සාධක තිබේද? ඇත්ත වශයෙන්ම අල්ලස් කොමිසමේ ස්ථිර කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට තරම් තත්ත්වය බරපතලය. පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්හි, චෝදනා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියකට සහ ඇයගේ සැමියාට එල්ල වන ප‍්‍රහාර ලෙස නොව සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයටම ප‍්‍රබල අභියෝගයක් බව තේරුම් ගත යුතුය. අල්ලස් කොමිසමට මෙවැනි අභියෝගයක් තනිවම ගත හැකිද? නැවතත් අතර මග නවතින විමර්ශන, නොයෙකුත් දෝෂ සඳහන් කරමින් නඩු කටයුතු නවතන තත්ත්වයක් කිසිදා සිදු විය යුතු නැත.

මැති සබය තුළ රජය සහ විපක්ෂය එකිනෙකට එල්ල කරන චෝදනා අනුව සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම අසාර්ථක, ජනතාව පෙලෙන කුප‍්‍රකට මෙහෙයුමක් බව එම දෙපාර්ශ්වයම අවධාරණය කරන බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම නිවැරදි ආකාරයට ක‍්‍රියාත්මක කළ ප‍්‍රධාන ව්‍යාපෘතියක් නැත. ක‍්‍රියාත්මක කිරීමට යෝජිත සියලූම ප‍්‍රධාන ව්‍යාපෘති ප‍්‍රශ්නකාරීය.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක විසකුරු දේශපාලනය තුළ බලය නැති වූ සැනින් මහජන නියෝජිතයින් ජනතාව වෙනුවෙන් අවි අමෝරා ගනී. එතෙක් කල් විපක්ෂයේ සිටි කණ්ඩායම වැඩට බසී. කවුරු දේශපාලන බලය දැරුවත් ජනතාවට සෙතක් නැත. ජනතාවට අවම සහන සැලසීමටවත් අවංක උත්සාහයක් ගන්නේ නැත.

ජනතාවට සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට බැඳී සිටින ලක් සතොස ක‍්‍රියාත්මක කළ දූෂිත සුදු ලූනු මගඩිය දැවැන්ත වංචාවක් බවත් එම තත්ත්වය අවංකවම පිළිගන්නා බවත් වෙළෙඳ ඇමැති පාර්ලිමේන්තුවේ පිළිගත්තේද මැති ඇමැතිවරු අකුණු අනතුරු ඇඟවූ දිනය. එම ආයතනය සම්මත ටෙන්ඩර් පටිපාටියෙන් සම්පූර්ණයෙන් බැහැරව මිල ගණන් තුනක් අයථා ලෙස හොරට ලබාගෙන තිබෙනවා යැයිද ඇමැතිවරයා පැවසීය.

ලංකා සතොස ආයතනය වෙළෙඳ අමාත්‍යවරයා යටතේ ක‍්‍රියාත්මකය. එසේ නම් අදාළ අමාත්‍යවරයාම දැවැන්ත වංචාවක් සිදු වී ඇති බව පිළිගෙන ඇති තත්ත්වය තුළ එම දූෂිත ක‍්‍රියාවට වගවිය යුතු වන්නේ කවුරුද? අදාළ අමාත්‍යංශයට දේශපාලන නායකත්වය දෙන ඇමැතිවරයාද? එසේත් නැතිනම් ඇමැතිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාද? ලක් සතොස සභාපති විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් තමන් යටතේ ක‍්‍රියාත්මක ආයතනය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය විමසා බැලිය යුතුය. ලක් සතොස අවධාරණය කරන රාජ්‍ය අංශය ක‍්‍රියාත්මක පිළිකුල් ආකාරය වෙළෙඳ අමාත්‍යාංශයට පමණක් අදාළ නැත. රාජ්‍ය අංශයම ප‍්‍රශ්නකාරීය. සුදු ලූනු මගඩිය පසුබිමේ රජයට එරෙහිව බුර බුරා නැගෙන ජනතා විරෝධය යටපත් කිරීමට තවත් කොමිසමක් පත් නොකිරීම සම්බන්ධයෙන් වර්තමාන පාලනයට ස්තුතිවන්ත විය යුතුය.

යම් නිශ්චිත සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසමක් පත් කළ බව කිවූ සැනින් මතුවන්නේ සැක සංකා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනතා විශ්වාශය සමස්ත නීති පද්ධතිය මත රඳවා ගත හැක්කේ පවතින නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමෙන් පමණි. එම විශ්වාසය බරපතල ලෙස පලූදු වී ඇති බව රහසක් නොවේ. එම තත්ත්වය තවදුරටත් තීව‍්‍ර වෙමින් පවතී. පසුගිය සතියේ මෙම ලියුම්කරු අවධාරණය කළ පරිදි වර්තමාන පාර්ලිමේන්තුව නිල වශයෙන් විමර්ශනයය කළ රුපියල් බිලියන ගණනින් ඇස්තමේන්තු කර ඇති මහා භාණ්ඩාගාරයට අහිමි වූ මුදල් අයකර ගැනීමට, දූෂිතයින්ට දඬුවම් දීමට නෛතික ක‍්‍රියා මාර්ග ගෙන නැත.

රටට අහිතකර අණ පනත් හොර පාරෙන් ගෙන ඒමට කටයුතු කළ පාර්ලිමේන්තුවක් ක‍්‍රියාත්මක බව අමතක කළ නොහැක. රටේ ඉහළම අධිකරණය පාර්ලිමේන්තුව සමගි ජන බලවේගය මන්ත‍්‍රී තිස්ස අත්තනායක හරහා ක‍්‍රියාත්මක කළ එම මෙහෙයුම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෑතකදී ව්‍යර්ථ කළේය. එම තීරණය ලබා ගැනීමට මූලික වූ ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු දේශපේ‍්‍රමී කණ්ඩායමට ජනතාව ණයගැතිය. පාර්ලිමේන්තු ක‍්‍රමය තමන්ට රිසිසේ පාවිච්චි කරන බව පැහැදිලිය. පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දිග හැරෙන දූෂණ වංචා නිමක් නැත. සීනි බදු වංචාව තවමත් ක‍්‍රියාත්මකය. පසුගිය වසරේ ඔක්තෝබර් මස රුපියල් 50 සිට සත විසිපහට බැස්සවූ සීනි කිලෝවට පැනවූ බද්ද තවමත් වෙනස් වී නැත. අවසන් ජනාධිපතිවරණයෙන් පසුව පැවති පළමුවන කැබිනට් හමුවේදී ගත් තීරණයක් නිසා රුපියල් බිලියන 600 ආසන්න බදු ආදායමක් රජයට අහිමි කර ගැනීම පිළිබඳව වෙනමම පරීක්ෂණයක් කළ යුතුය.

නොනවත්වා සිදුවෙමින් පවතින ශ‍්‍රී ලංකා ගුවන් සේවයේ පරිහානිය (දැනට ඇස්තමේන්තු කර ඇති අලාභය රුපියල් බිලියන 360 කි), බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ශ‍්‍රී ලංකාවට අවාසිදායක යැයි පැවසූ යෝජිත යුගදනවි ගිවිසුම එලෙසම ප‍්‍රශ්නකාරිය (අදාළ ඇමෙරිකානු සමාගම පවසන්නේ දෙපාර්ශ්වය අවසාන ගිවිසුමකට අත්සන් තැබූ බවය). තව දූෂණ, වංචා තොගයක් ඇත. චූදිතයෝ නිදැල්ලේය. නමුත් සියලූ ආන්දෝලනාත්මක සිද්ධීන් යටපත් වුයේ විදේශීය මාධ්‍ය ‘පැන්ඩෝරා පේපර්ස්’ පදනම් කරගෙන හෙළි කළ හිටපු නියෝජ්‍ය ඇමති නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා තිරුකුමාර් නඬේසන් සම්බන්ධ මූල්‍ය ගනුදෙනුය. පරීක්ෂණයකින් තොරව කිසිදු පුද්ගලයකු වරදකරු කළ නොහැක. නමුත් අදාළ චෝදනා බරපතලය. පාර්ලිමේන්තුවට අකුණු අවදානමක් තිබෙන බවට මැති ඇමැතිවරු අනතුරු ඇඟවූ පසුගිය අඟහරුවාදා රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කළ ප‍්‍රකාශය ද අතිශය බරපතලය. ඇත්ත වශයෙන්ම ‘පැන්ඩෝරා පේපර්ස්’ තරමටම බරපතලය. චෝදනාවට ලක්වී ඇති ගනුදෙනු 1994-2000 කාලය තුළ සිදු වූ බවට කළ ප‍්‍රකාශය එම හෙළිදරව්ව පසුපස සිටින විදේශීය මාධ්‍ය ජාලයේ අවධානයට යොමු වනවා නොඅනුමානය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන රාජ්‍ය බැංකුවක ශාඛාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර තිබෙන්නේ මැති ඇමැතිවරුන්ගේ පහසුවටය. මැති ඇමැතින්ට ණය පහසුකම් ද මෙම ශාඛාවෙන් සැපයේ. රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පොහොට්ටු පක්ෂය යෝජනා කළ කොවිඞ් අරමුදලට තම මාසික වැටුපෙන් කොටසක් පරිත්‍යාගයක් කිරීමට නොහැකි බව පැවසුවේ අදාළ බැංකුවෙන් ගත් ණයට ඔහුගේ සම්පූර්ණ වැටුපම හිලව් වන නිසා බවය. සමස්ත ආර්ථිකය රෝහල් ගතවී ඇති තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අභියෝගය වටහා ගත හැක. අල්ලස් කොමිසමට අභියෝගාත්මක කාර්යයක් පැවරී ඇති මෙම අවස්ථාවේ යහපාලන සමයේ එහි අධ්‍යක්ෂක ජනරාල් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළම නිලධාරිනියක වූ දිල්රුක්ෂි වික‍්‍රමසිංහට වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ආරාධනාවක් පිළිගැනීම නිසා වූ විපත්තිය ශ‍්‍රී ලංකාවේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විපරිතභාවයයි. ඇවන්ට්ගාර්ඞ් නඩු කටයුත්තේ ප‍්‍රධාන සැකකරුවකු වූ මේජර් නිශ්ශංක සේනාධිපති අමාත්‍යවරයා තම ජංගම දුරකථනය හරහා ප‍්‍රශ්නගත ව්‍යාපාරිකයා හා අධ්‍යක්ෂක ජනරාල්වරිය සමඟ සම්බන්ධ කිරීමේ ප‍්‍රතිපලය වූයේ නිරපරාදේ ඇයව එම තනතුරින් ඉවත් කිරීමයි. පසුව කළ පරීක්ෂණයකදී ඇයගේ නිර්දෝෂීභාවය ඔප්පු වුවත් නීතිපති දෙපාර්තමේන්තුව වික‍්‍රමසිංහ මහත්මියට අහිමි කළ ධුරය නැවත ලබා දුන්නේ නැත. ඇය විශ‍්‍රාම ලැබුවාය. අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය ප‍්‍රශ්නකාරීය. පැන්ඩෝරා පේපර්ස් පරීක්ෂණයේ ප‍්‍රගතිය බලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment