හෙන්රි ලැංග්ලුවා Henri Langlois

91

කලාව හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ කැපවීම, උද්යෝගය හා නොපසුබට උත්සාහය බැව් නොරහසකි. ලෝකය වෙනස් කළ හැක්කේ එවැනි තනි තනි මිනිසුන්ටය යන්න සනාථ කළ හැකි නිදසුන් ඉතිහාසය පුරා කොතෙකුත් අප අසා ඇත. සිනමා කලා ලෝකය හා අදාළව සිදුවූ එවන් තවත් අපූරු සිදුවීමකට මුල්වූ අසිරිමත් මිනිසෙකු පිළිබඳව සොයා යෑමේදී අපට හමුවූ කථාවක් මෙසේයි.

තරබාරු සිරුරකින් යුතු වුවද කඩිසර, ක්‍රියාශීලී මිනිසෙකු වූ හෙන්රි ලැන්ග්ලුවා සිනමාවට අසීමිතව ඇලුම් කළ පුද්ගලයෙකි. ‘සිනමාව’ යන්න ජාතික උරුමයකැයි සැලකූ ඔහු අඥාන චිත්‍රපට බෙදාහරින්නන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් හේතුකොටගෙන විනාශ මුඛයට ඇදවැටී තිබූ වටිනා සම්පතක් රැකගැනීමට සිය ජීවිත අවදානමද නොතකා කටයුතු කළේය. කලා උරුමය යන්න සැමවිටම ඒ කෙරෙහි කිසිදු ඇල්මක් නොදක්වන පිරිස් හමුවේ විනාශමුඛයට ඇදවැටී ඇත්තේ අනාගත පරපුර වෙත කිසිවක් ඉතිරි නොකරමිනි.

ලැන්ග්ලුවා නම් වූ මෙකී අසිරිමත් මිනිසා 1935 දී පමණ විනාශමුඛයට ගමන් කළ එකී සිනමා උරුමය රැක ගැනීම අරඹයා තැබූ මුල් පියවරක් ලෙස ආරම්භ කළ, නොමිළයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙළ විශාල තරුණ පිරිසකගේ අවධානයට ලක්විය. එකී සිනමා ලෝලීන් පිරිස අතර සිටි බොහෝ දෙනා 50 දශකයේ ‘ප්‍රංශ නවරැල්ල’ නමින් හඳුන්වන සිනමා සම්ප්‍රදාය බිහිකිරීමට මුල්වූ බැව් සිනමා ඉතිහාස ග්‍රන්ථවල පවා සඳහන්වේ. ලැන්ග්ලුවාගේ එකී ව්‍යායාමය ලොව විශාලතම සිනමා පුස්තකාලය හා සංරක්ෂණාගාරය බිහිකිරීම දක්වා ව්‍යාප්ත වූ අතර ඔහුගේ එකී උත්සාහය ප්‍රංශයේ පමණක් නොව ලොව වෙනත් රටවලද කලාකාමී පිරිස් හා සිනමාකරුවන් බොහොමයකගේ අවධානයට හා ගෞරවයට ලක්වූයේය. ලැන්ග්ලුවා විසින් පියවරෙන් පියවර ගොඩනඟනු ලැබූ ප්‍රංශයේ සිනමාතෙක් ආයතනය (Cinematheque Francaise) ඇල්ෆ්‍රඩ් හිච්කොක්, නිකලස් රේ වැනි ලොව විශිෂ්ටතම සිනමාකරුවන්ගේ ඇගයීමට ලක්විය. රාජ්‍ය යාන්ත්‍රණය හා නිලධාරීවාදය විසින් ලැන්ග්ලුවාගේ බලඅධිකාරිය පැහැර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු වෙත සහයෝගය දැක්වීමට මෙකී සිනමාකරුවෝ ඉදිරියට පැමිණියහ. ලැන්ග්ලුවා මේ සියල්ලන්ගේම පරමාදර්ශී චරිතය බවට පත්විය. පශ්චාද් යුධ වකවානුවේ ආත්මය අහිමි වූ පරම්පරාවකට හෙතෙම දෙවියෙකු මෙන් විය.

දෙවැනි ලෝක යුධ සමයේ ප්‍රංශයේ බොහෝ සිනමා චිත්‍රාගාර විවිධාකාරයේ ආර්ථික ගැටලුවලට මුහුණදීම හේතුවෙන් බිඳවැටීමට ආසන්න තත්ත්වයක පසුවිය. ඒවා සතුව තිබූ දහස් ගණනක් වූ චිත්‍රපට ප්‍රමාණයක් විනාශමුඛයට ඇද වැටී තිබිණ. මෙකල ප්‍රංශ කලා සංස්කෘතික කටයුතු වෙනුවෙන් පෙනී සිටි වාර ප්‍රකාශන කිහිපයක්ම එරටේ පළවිය. ඒ අතර ‘Pour Vous’ නම් සඟරාව මුල් තැනක් ගෙන කටයුතු කළේය. වර්ෂ 1934 දී මෙම සඟරාවේ පළවූ චිත්‍රපට නාමාවලියක් කෙරෙහි අවධානය යොමුකළ ලැන්ග්ලුවා ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඇති කිරීමේ අවශ්‍යතාව අවබෝධකොට ගත්තේය. ඒ අතර මෙම කටයුත්ත වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට යටකී සඟරාව කටයුතු කළේය. එහිදී එම වගකීම කරට ගෙන කටයුතු කිරීමට ලැන්ග්ලුවා තීරණය කළේය. වර්ෂ 1935 දී හෙතෙම කුඩා සිනමා කවයක් ආරම්භකොට සිනමාලෝලීන් වෙත නොමිලයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේය. එය කුඩා එකතුවක් වුවද එතැනට එක්රොක්වූ පිරිස විවේකී පරිසරයක් තුළ චිත්‍රපට නැරඹීමත්, ඒ පිළිබඳ සාකච්ඡා හා වාදවිවාද කිරීමත් ඉමහත් ආශ්වාදයක් සේ සලකන්නට වූහ. ලැන්ග්ලුවාගේ මෙකී ව්‍යායාමය යාන් පෝල් සාත්ත්‍රේ (Jean paul Sartre) හා ආන්ද්‍රේ ගයිඩ් (Andrei Guide) වැනි ප්‍රකට විද්වතුන් හා චින්තකයන්ගේ මෙන්ම වෙනත් ව්‍යාපාරික පිරිස්වල ද අවධානයට ලක්විය. එය ශුද්ධ වූ සිනමාවක් වෙනුවෙන් තැබූ ඉදිරි පියවරක් ය යන්න ඔවුනගේ පිළිගැනීම විය.

හෙන්රි ලැංග්ලුවා Henri Langlois

මීළඟ වසරේදී වඩාත් උද්යෝගයට පත්වූ ලැන්ග්ලුවා චිත්‍රපට ප්‍රදර්ශනයට පමණක් නොව ඒවා සංරක්ෂණය කිරීමේ කාර්යයට ද අතගැසීය. ජෝර්ජ් ෆ්‍රන්ජු (Georges Franju), යාන් මිත්‍රි (Jean Mitry) හා පෝල්-ඔගස්ටේ හාර්ලි (Paul -Aguste Harle) සමග එක්ව ඔහු කෙලින්ම චිත්‍රාගාරවලින් චිත්‍රපට පිටපත් කුලියට ගෙන සිය මවගේ මහල් නිවාස කොටසේ ඒවා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය. එවැනි දුෂ්කර කාලවකවානුවක පවා පැමිණ සිටි අයට නොමිලයේ සංග්‍රහ කිරීමට ලැන්ග්ලුවාගේ මව කටයුතු කළ බැව් සඳහන්වේ. එහි ගතකළ එක් රාත්‍රියක් පිළිබඳ සිහිකරන ප්‍රංශ නවෆල්ලේ ප්‍රමුඛ පෙලේ අධ්‍යක්ෂවරයෙකු වන ක්ලෝඩ් චැබ්රෝල් ප්‍රකාශ කළේ ප්‍රධාන ශාලාවේ ෆ්‍රිට්ස් ලෑන්ග් ගේ ‘M’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන විට ඉහළ මාලයේ තවත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූ අතර, ‘Dairy Of A Lost Girl’ චිත්‍රපටය පියගැටපෙළ අසල තැනක ප්‍රදර්ශනය වූ බවයි. එය ලොව ප්‍රථම සිනමා සංකීර්ණය (Multiplex) වී යැයි ඔහු කියා සිටී. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව මධ්‍යම රාත්‍රිය පසුවීද සාකච්ඡා පැවැත්විණ. ඇතැම් අවස්ථාවලදී ඒවායේ රඟපෑ නළුනිළියන් හා අධ්‍යක්ෂවරුද එකී සාකච්ඡාවලට සහභාගී වූහ. බස්ටර් කීටන්, ලුවී බුනියෙල් හා රේනර් වර්නර් ෆස්බින්ඩර් ඔවුනතර කිහිප දෙනෙකි. ගොඩා, ට්‍රෘෆෝ, චැබ්රෝල්, රිවෙට් හා රෝමර් වැනි ප්‍රංශ නවරැල්ලේ අධ්‍යක්ෂවරු ලැන්ග්ලුවාගේ මුල්ම ශිෂ්‍ය පරපුර සේ හැඳින්විය හැකියි.

ඒවනවිටත් ජර්මන් හමුදා ප්‍රංශය ආක්‍රමණයකොට තිබූ පසුබිමක සිනමා ලෝලීනට හමුවීමට ස්ථිර ස්ථානයක් නොවීය. එබැවින් නිරතුරුවම චිත්‍රපට ප්‍රදර්ශන හා හමුවීම් පැවැති ස්ථාන වෙනස් කිරීමට සිදුවිය. නාසි පාලනය යටතේ සියල්ල අතිශයින් දුෂ්කර අඩියකට පත්ව තිබීම එයට හේතුවයි. බහුතරයක් චිත්‍රපට නයිට්ටේ්‍රට් පටලයේ මුද්‍රණය වී තිබීමද ගැටලු මතු ුකළේය. මෙම අවධියේදී ඇතැම් චිත්‍රපට උණුකර ජර්මන් සොල්දාදුවන්ගේ සපත්තු අඩි සෑදීමට යොදාගත් බැව්ද සඳහන්වේ. මේ සෑම චිත්‍රපටයක්ම එකතු කිරීමට ලැන්ග්ලුවා වෙරදැරීය. ඒවා කිසියම් යුගයක් හා කාලයක් සටහන් වූ වටිනා සංස්කෘතිකාංගයක්ය යන්න ඔහුගේ විශ්වාසය විය. ලැන්ග්ලුවා ඇතුළු පිරිස විසින් මෙලෙස එක්රැස් කළ චිත්‍රපට අතර ප්‍රංශ මෙන්ම විදේශීය චිත්‍රපට ද විය. එකී පිටපත් බොහොමයක් නගරයට ගෙන එනු ලැබූයේ හොර රහසේයි. ඒවා ගබඩාකොට තැබීමට ද විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය විය. ඒවා ඇතැම් විට හිතවතුන්ගේ නිවෙස් තුළ නාන කාමරවල පවා ගොඩගසා තැබීමට ඔවුනට සිදුවිය. ‘සිනමාතෙක්’ චිත්‍රපට ගබඩාවකොයි මොහොතේ හෝ හමුදාව විසින් වැටලීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධ ඔත්තු ලබාදීම උදෙසා ඇතැම් හමුදා නිලධාරීන් හා ඇසුරුකම් පැවැත්වූ අයවළුන්ගේ සහාය පැතීමට ද ඔවුනට සිදුවිය. ඇතැම් ගනුදෙනු සිදුවූයේ වෙනත් ආකාරයකටයි. එහිදී සුවිශේෂී චිත්‍රපට ලබාගැනීම සඳහා එස් එස් නිලධාරීන්ට (SS officers) අල්ලස් ලබා දීමට පවා සිදුවිය. එක් එස් එස් නිලධාරියෙකු කිසියම් වාර්තා චිත්‍රපටයක් වෙනුවට ජෝසප් ෆොන් ස්ටර්න්බර්ග් (Joseph Von Sternberg) ගේ ‘The Blue Angel’ චිත්‍රපටයේ පිටපතක් හුවමාරු කරගැනීමට එකඟ විය.

1944 පමණ වනවිට ලැන්ග්ලුවා ඇතුළු පිරිස මෙලෙස චිත්‍රපට පිටපත් 50,000ක් පමණ එකතු කරගෙන සිටි අතර ඒවා කිසියම් ස්ථාවර ගොඩනැගිල්ලක ගබඩා කරගැනීම උදෙසා සිය ජීවිතයම කැප කිරීමට ලැන්ග්ලුවා සැදී පැහැදී සිටියේය. මෙහිදී නොයෙකුත් පිරිස්වල සහාය මෙන්ම අරමුදල් එක් රැස්කරගැනීමට ද හෙතෙම සමත්විය.

ඔහුගේ ව්‍යායාමය මල්පල ගැන්වූයේ සිනමාතෙක් ආයතනය 1948 ඔක්තෝබර් 28 වන දින පැරිස් නුවර, මෙසිනේ මාවතේ අංක 7 දරණ ස්ථානයේ (7, Avenue de Messine) හි ස්ථාපිත වීමෙනි. එකී ආයතනය පාලනය වූයේ ඡන්දයෙන් පත්වුණු අධ්‍යක්ෂ මණ්ඩලයක් මගිනි. සාමාජික මුදල් හා රජයෙන් ලැබුණු කිසියම් ආධාර මුදලක් හැරුණුවිට එය පවත්වාගෙන යෑම සඳහා වෙනත් අයගෙන් ලැබුණු ආධාර හා පරිත්‍යාග බෙහෙවින්ම උපකාරී විය. එහෙත් මෙවැනි දැවැන්ත කටයුත්තකට එකී අරමුදල් ප්‍රමාණවත් නොවීය. එහි සේවය කළ බොහෝ දෙනා ස්වෙච්ඡාවෙන් මෙම කටයුත්තට සම්බන්ධ වී සිටි අයයි.

චිත්‍රපට පිළිබඳ ඉගෙනීමට සුදුසුම ක්‍රමවේදය වන්නේ චිත්‍රපට නැරඹීම යැයි විශ්වාස කළ ලැන්ග්ලුවා සිනමා සාකච්ඡා, සම්මන්ත්‍රණ වැනිදේ සඳහා සහභාගී වූයේ ඉමහත් උද්යෝගයෙන් යුතුවයි. එක් චිත්‍රපටයක් කිසිවිටෙකත් දෙවරක් තිරගත නොකළ බැවින් බොහෝවිට සිනමාතෙක් හි ස්ථාපිත සිනමාශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියේය.

කෙසේ වෙතත් ලැන්ග්ලුවා විසින් සිනමාතෙක් ආයතනය පාලනය කෙරෙන ආකාරය පිළිබඳ රජයේ නිලධාරීන් හා උපදේශකයන් එතරම් සතුටට පත්වී නොසිටියේය. ලැන්ග්ලුවා ඔවුන් සමඟ නිරතුරුවම ගැටුම් ඇති කරගත්තේය. ආයතනය පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අරමුදල් හා සම්පත් නොමැතිවීමද ගැටලු මතු කළේය. ඒ වනවිට ලැන්ග්ලුවා විශාල සතුරන් පිරිසක් ඇති කරගෙන සිටියේය. 1968 පෙබරවාරි මස මුල්භාගයේදී ‘සිනමාතෙක් ’ හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලැන්ග්ලුවා එහි ප්‍රධානී තනතුරෙන් ඉවත්කරනු ලැබීය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ඩිගෝල් රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍ය අන්ද්‍රේ මැල්රෝක්ස් (Andre Malraux) නම් අයයි. ඔහු සිනමා මාධ්‍යයට ඇලුම් කළ ඒ සඳහා අනුග්‍රාහකත්වය ද දැක්වූවෙකි. මුල් වකවානුවේ හෙතෙම සිනමාතෙක් ආයතනයට ද උදව් උපකාර කළේය. කෙසේ වෙතත් ආයතනය පාලනය කිරීමේ දී ලැන්ග්ලුවා අනුගමනය කළ ක්‍රියා පිළිවෙල මැල්රොක්ස්ගේ ප්‍රසාදයට හේතු නොවීය.

ලැන්ග්ලුවාගේ ඉවත් කිරීම සිනමාලෝලීන් ගේ දැඩි විරෝධයට හේතුවිය. ලොව පුරා 1500 ක් පමණවූ සිනමාකරුවන් පිරිසක් රජයට විරෝධය පළකරන්නට වූ අතර පැරිස් නුවර කේන්ද්‍රකර ගනිමින් විරෝධතා කැරළි ක්‍රියාත්මක විය. මේ අනුව ඉතා ඉක්මනින්ම තමන්ගේ තීරණය වෙනස් කර ගැනීමට රජයට සිදුවිය. සිනමාතෙක් ආයතනය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වූ අතර යාන් රෙනුවා, යාන් ලූ ගොඩා හා ප්‍රන්සුවා ට්‍රෘෆෝ එහි අධ්‍යක්ෂවරු බවට පත්විය. කෙසේ වෙතත් මෙම පසුබිම එහි මුල්‍යමය තත්ත්වය දුර්වල කිරීමට හේතුවිය. එහි සේවක මණ්ඩලය 75 සිට 15 දක්වා අඩුකිරීමට ලැන්ග්ලුවාට සිදුවිය. මේ අතර සිනමා පාඨමාලාවල දේශකයෙකු ලෙස සහභාගීවීමට ලොව පුරා විශ්වවිද්‍යාල හා වෙනත් ආයතන වෙතින් ලැන්ග්ලුවා වෙත ආරාධනා ගලා එන්නට විය. සිනමාතෙක් ආයතනය සඳහා විදේශ ආධාර ලබාගැනීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට එකී සංචාරයන් ඉවහල් කර ගැනීමට ලැන්ග්ලුවා කටයුතු කළේය. වසර ගණනාවක් මුළුල්ලේ ඔහුගේ සිහිනය වී තිබුණේ සිනමා ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයක් ගොඩනැගීමයි. 1970 දී බලයට පත් රජයේ නව සංස්කෘතික කටයුතු අමාත්‍ය එඩ්මන්ඩ් මිචෙලට් (Edmomnd Michelet) ඒ සඳහා අවශ්‍ය භූමිභාගය ලබාදීමට ඉදිරිපත් විය. ඒ සඳහා ආධාර උපකාර ඉල්ලා ලැන්ග්ලුවා විසින් හොලිවුඩයේ කීර්තිමත් සිනමාකරුවන්. සිනමා තරු හා නිෂ්පාදකවරුන් වෙත ලිපි සිය ගණනක් යැවීය. මීළඟ වසර දෙකක පමණ කාලය තුළ ඔහු මෙම කටයුත්ත ඉටුකර ගැනීම සඳහා ඉමහත්වූ කැපවීමෙන් ක්‍රියා කළේය. 1972 ජූනි මස 14 වැනි දින සිනමාතෙක් හා අනුබද්ධ සිනමා කෞතුකාගාරය විවෘත කිරීමට හෙතෙම සමත්විය.

සිනමා කලාව වෙනුවෙන් හෙන්රි ලැන්ග්ලුවා විසින් ඉටුකළ මාහැඟි සේවය අගය කරමින් 1974 දී ඇමෙරිකානු ඇකඩමි සම්මාන උළෙලේ දී ඔහු වෙත ගෞරව සම්මානයක් ද පුද කෙරිණ.

ලැන්ග්ලුවා නිතර කියා සිටියේ සැබෑ කලාකරුවකු වීමට කෙනෙකු සිය ශිල්පය තමාගේම සම්පූර්ණ පාලනයට නතුකර ගතයුතු බවයි. එය තමාගේ මුළු ජීවිත කාලයටම වටිනාකමක් ලබා දෙන්නක් විය යුතුය යන්න ඔහුගේ අදහසයි.

ලැන්ග්ලුවා සිය ජීවිතය සිනමා කලාව වෙනුවෙන් කැප කළේය. ඔහු විසින් එකතු කළ සෑම චිත්‍රපටයක්ම, ඔහු කළ සෑම චිත්‍රපට තිරගත කිරීමක්ම හා ඔහු ප්‍රදර්ශනය කළ සෑම කෞතුක භාණ්ඩයක්ම ලෝක සිනමා වංශ කථාවේ උරුමයක් සේ සැලකිය හැකියි. හෙන්රි ලැන්ග්ලුවාගෙන් තොරව, සිනමා ඉතිහාසය මෙතරම් වර්ණවත් එකක් නොවන බව පැහැදිලි සත්‍යයකි.

● එම්. ඩී. මහින්දපාල
‘Henri Langlois: The Auteur of Cinematheque Francaise’ නමින් රයන් බැබූලා (Ryan Babula) ලියූ ලිපිය ඇසුරෙනි

advertistmentadvertistment
advertistmentadvertistment