හෙළයේ මහා ගත්කරු අවුරුදු සැමරූ හැටි…

473

එදා අපේ පැරැන්නෝ අලුත් අවුරුද්ද සැමරුවේ මංගල්‍යයක් ආකාරයෙනි. නමුත් අද වන විට සියල්ල නවීකරණය වී ඇත්තේය. එදා අපේ ගැමියන් අවුරුදු සැමරූ ආකාරය පිළිබඳ බැඳී ඇත්තේ හරි අපූරු රසවත් කථාන්දරයන්ය. කලාවිදු, කලාභුෂණ, දේශශක්ති යන සම්මානවලින් පිදුම් ලැබූ කොට්ටව සිරිසේන නමැති කලාකරුවා එදා අවුරුදු උත්සවය සැමරූ අයුරු අපට ඉතා රසවත් අයුරින් විස්තර කළේය. සිරිසේන රාළහාමිගේ දැන් වයස අවුරුදු අසූපහකි.

එදා අවුරුදු සැමරූ අයුරු ඉතා රසවත් ලෙස කොට්ටව රාළහාමි ඔහුගේ වචනවලින්ම අපට විස්තර කළේය.

‘ඒ කාලයේ දැන් වගේ මාධ්‍ය තිබුණේ නැහැ. අලුත් අවුරුද්දට මාස දෙක තුනකට කලින් අවුරුදු සීට්ටුව රැගෙන සීට්ටුකාරයා ගමට එනවා. ඔහු හරායට තමයි එන්නේ. සීට්ටුකාරයාට ගමේ අය සල්ලි දුන්නේ නැහැ. වී තමයි දුන්නේ. අවුරුද්දට කලින් වළංකාරයා, රෙදි පොට්ටනිකාරයා, කරවල තුනපහ අරන් කත් කාරයා ගමට එනවා. ජාඩිකාරයා ජාඩි අරගෙන එනවා.

ගම්මුන් මේ අයගෙන් තමයි අවුරුද්දට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ. මිනිස්සු කඩපිල් ගාණේ ගියේ නැහැ. මේ අයට ගම්මුන්ද අවුරුදු තෑගි භෝග ලබා දෙනවා. ඒ කාලයේ ගමේ හැම ගැමි ගෙදරකම පාහේ රබානක් තිබුණා. අවුරුද්ද කිට්ටු වන විට ගාල්ලට ගිහින් තමයි රබානට අලුත් හමක් ගහගෙන එන්නේ. ගැමි කාන්තාවන් එකතුවෙලා රබන්පද කියමින් රබන් ගහනවා. රබානෙන් යම් කිසි පණිවුඩයක් දුන්නා. රබන් පදයෙන් තව කෙනෙකුට බැණ වදින්න වුණත් පුළුවන්. දැන් නම් ගමක රබානක් දකින්නවත් නැහැ.’

‘ගෙවල් පිරිසිදු කිරීමත් කරන්නේ අවුරුද්ද කිට්ටු වන විට ඒ කාලයේ කටුමැටි ගහපු ගෙවල් තමයි වැඩිපුර තිබුණේ.

ගම්මුන් සුදු හුණු ගෙනවිත් ගෙවල් දොරවල්වල හුණු ආලේප කරනවා. ඒ විතරක් නෙවෙයි වහලවල්වල පොල් අතු බැඳලා, ළිං පිරිසිදු කරන්නෙත් මේ කාලයේ. ගෙවල්වල ඇති කරන ගවයින් නාවලා පිරිසිදු කරලා ඔවුන්ට මල්මාල පවා දමන්න ගැමියන් පුරුදුවෙලා හිටියා. සෙක්කුවලින් තමයි ඒ කාලයේ තෙල් හින්ඳේ.’

බඹර ඔන්චිල්ලා අවුරුදු කාලයට ජනප්‍රියයි. ලෑලි දෙකක් අරගෙන එකට තියලා බැඳලා පුවක් පටි ගහලා තමයි බඹර ඔන්චිල්ලාව හදන්නේ. ඒ කාලයේ ගැමි පිරිමි දරුවන් මෙන්ම ගැහැනු දරුවන් බඹර ඔන්චිල්ලා පදිනවා. ඒ කාලයට ලණුවලට තියෙන ඉල්ලුම වැඩිය. ඇත්තටම ඒ කාලයේ කඹවලින් සෑම ගෙදරකම පාහේ ඔන්චිල්ලා බඳිනවා. ගැමි තරුණියන් වාරං කියමින් තමයි ඔන්චිලි පදින්නෙ. අලුත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා. කජු අහුලන්න යන්නේ වවුල් පළවල්වලට. ගම්වල වවුල් පළවල් තිබුණා. මාත් ගමේ කොලු ගැටවුත් එක්ක කජු ඇහිඳින්න ගිහින් තියෙනවා… වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිදින්න යන්නේ ගොක්කොළවලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ. වළ කජු ගහන්නත් කජු ඇට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා…

ඇත්තටම ඒ කාලයේ අලුත් අවුරුද්ද කුඩා දරුවන්ට රජ මඟුලක් වගේ තමයි. අපේ ගෙවල් අසල කොට්ටව ගම්මානයේ ඇළක් තිබුණා. ඇළට පැනලා දිය බුන් ගහනවා. අවුරුදු උත්සවය තිබ්බේ මේ ඇළේ තොටුපොළ ළඟ. ජල ක්‍රීඩා තමයි වැඩිපුරම තිබුණේ. චක්ගුඩු පැනීම, ඉපිල් පැනීම, ගුඩු පැනීම ගැමි දරුවන් කරපු ක්‍රීඩා තමයි. අලුත් අවුරුදු කාලයට පංචි දැමීම, ඒ කාලයේ හැම ගෙදරකම සිදුකරන ක්‍රීඩාවක්. සල්ලිවලට තමයි පංචි දමන්නේ. නෙරෙංචි කෙළිය, ඔලිඳ සෙල්ලම, කැට ගැසීම, පොල් නෙලීම, චතුරාංග කෙළිය, අවුරුදු කාලයට එන ජන ක්‍රීඩා. මේ ක්‍රීඩා බක්මාසයත් සමග තමයි කරළියට එන්නේ… ඒ විතරක් නෙවෙයි ඒ කාලයේ ඇවිදීමේ තරගයක් තිබුණා. ගමේ තරුණ කොලු ගැටව් තමයි මෙයට ඉදිරිපත් වුණේ. අපේ

ගමේ හිටිය කරෝලිස් මුදලාලි කියලා කෙනෙක්. ඔහුට ගව පට්ටියක් තිබුණා. මේ තරගයෙන් ජය ගන්නා කෙනාට තෑගි වශයෙන් දුන්නේ හරක් බානක්. තිරික්කල රේස් ද අවුරුදු උත්සවවල තිබුණු ජනප්‍රිය ක්‍රීඩාවක්. තිරික්කලයට බඳින වෙනම ගොනෙකු හිටියා. ඒ කාලයේ බොහෝ නිවෙස්වල තිරික්කලයක් තිබුණා.

දැන් තමයි අවුරුද්ද ලබන විට ඒ බව රටට කියන්න රතිඤ්ඤා පත්තු කරන්නේ. ඒ කාලයේ උණ බම්බුවලට භූමිතෙල් වත්කරලා උණ වෙඩිලි තමයි පත්තු කළේ.

අලුත් අවුරුද්ද කිට්ටු වන විට පැදුරුකාරයත් ගමට එනවා. පැදුරු වියන්න පුළුවන් ගැමි කාන්තාවන් පන් උගුල්ලාගෙන විත් පැදුරු වියා ගන්නවා. අලුත් පැදුරු දමලා ඒවායේ වාඩිවෙලා තමයි අවුරුදු කන්නේ. අවුරුදු කෑම මේසය පිළියෙල කරනවා. පසුව සාලයේ මැද පැදුරු එලනවා. පවුලේ අය පැදුරුවල වාඩි වෙලා පොල්තෙල් පහන් එහෙම දල්වලා නිල් මානෙල් කොළවල හා නෙළුම් කොළවල තමයි කිරිබත් ඇතුළු කෑම වර්ග දමාගෙන අවුරුදු කෑවේ.

ගමේ ඉන්න වැඩිහිටි අයකු තමයි ගේ අලෙවි කළේ. ගම්මුන් ලෝභ නැති වැඩිහිටි අයකුට කියලා ගේ අලෙවි කළා.

වැඩ අල්ලන කොට ගෙදර කාන්තාව තමයි ළිඳත් සමග ගනුදෙනු කරන්නේ. ඒ වගේම කිරි ගහක් කපනවා කොස්,දෙල් වගේ ගස් පිහියකින් කපනවා කිරි වැක්කෙරෙනකම්. කුඩා දරුවන් වැඩිහිටියන් සමග කැවුම්, කොකිස් ඇතුළු කිරිබත් තැටි තමයි අසල්වැසි හා ඥාති ගෙවල් ගෙවල්වලට අරගෙන යන්නේ බුලත් දීලා වැඳ නමස්කාර කරනවා. ඇත්තටම ඒ කාලයේ අවුරුදු සීට්ටුකාරයා එන තෙක් තමයි ගැමි දරුවන් බලාගෙන ඉන්නේ. එදා ඉඳලා ගැමි දරුවන්ට අවුරුදු තමයි. ගැහැනු අය ඇන්දේ කම්බාය, පිරිමි අය පට සරම නැතිනම් අල්ලි තියෙන සරම තමයි ඇන්දේ.

ඒ කාලයේ ගැමි ගෙවල්වල රාත්‍රියට පත්තු කරලා තියෙන්නේ නොම්මර 15 චිමිනි ලාම්පු. වවුල්පළවල්වලින් දොඹ ඇට එකතු කරලා දොඹ තෙල් එහෙමත් අරගෙන තියෙනවා. ගමන් බිමන් යන විට ලැන්තෑරුම වගේම හුළු අතු එහෙමත් අරගෙන ගිහින් තියෙනවා. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කොග්ගල ගං දූවේ ජෝන් අයියාගේ නිවසේ අලුත් අවුරුද්ද සැමරූ අයුරුත් කොට්ටව රාළහාමි ඉතා රසවත් ලෙස විස්තර කළේය.

වික්‍රමසිංහ මහත්තයා අප්‍රේල් මාසයේ දිනක මට කොග්ගල ගෙදරට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. සිරිසේන අපි ටිකක් විනෝද වෙන්න ගංදූවේ පැත්තේ යමු කියලා කීවා. ඔහු හරි ආසයි ඔරු පදින්න. මාත් එක්ක තමයි යන්න කැමති. කොග්ගල ඔයේ සුරදියෙල් අයියාගේ ගෙදරට ගියා. අවුරුදු සංග්‍රහ තිබුණා. අල බතල, ඉස්සෝ, කකුළුවෝ, කුරක්කන් තලපා කාලා අපි ආවා. වික්‍රමසිංහ මහත්තයා මට කමිසයක් ද තෑගි දුන්නා යැයිද කොට්ටව රාළහාමි කීවේය. එහෙත් අලුත් අවුරුදු කාලයට ගමේ තිබූ ගැමි සුන්දරත්වය අද වියැකී ගොසිනි. අද සියල්ල වෙනසකට ලක්ව ඇත.

ලලිත් චාමින්ද,
එස්. කේ. කළුආරච්චි ගාල්ල
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment