හෙළ ගීයේ අසිරිය පොබකළ ‘රත්නය’

136

සිංහල සිනමා සංගීතයේ ඒකාකාරි බව මගහැර ගනිමින්, ඊට විවිධ සංගීත රටා නිර්මාණාත්මකව මුසු කරදුන් සංගීතවේදීන් අතර ඔහු ද කැපී පෙනෙයි. භාරතීය සංගීතඥයන් අනුව යමින්, ගීතයේ නාද රසය තියුණු දියුණු කරන පුළුල් පාරාසයක සංගීත වාද්‍යෝපකරණ යොදා විසල් වාද්‍ය වෘන්දයක් යොදා නිර්මාණකරණයේ යෙදෙන්නට ඔහු ද හැකි හැම විටම උත්සුක විය.

සිනමා සංගීතයේ නවමං සොයා යමින්, ශ්‍රාවක ප්‍රේක්ෂක සහ නිර්මාණ පාර්ශ්වය යන මෙකී ත්‍රිත්වයම සත්සර මිහිරෙන් සැනසූ නැළවූ ඔහු නොබෝදා අප අතරින් වියෝවූ කැන්ගරු දේශයේ පදිංචිව සිටි ප්‍රවීණ ජ්‍යෙෂ්්‍යඨ සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.

50 දශකයේදී ‘ගැහැණු ගැට’ සිනමා පටයේ දී ගීත නිර්මාණය කරමින් හින්දි ගී අනුකාරක සංගීතයට අභියෝග කළ ඔහු, එතැන් හි සිට දේශීය සිනමා කලාවට ස්වාධීන එසේම මධුර තනු රැසක් දායාද කර දුන්නේය.

පාරම්පරික කලා පවුලක සාමාජිකයෙකු වූ ආචාර්ය ෂෙල්ටන් සිය දෙසොහෙයුරන් වූ විමල් ජේ. සාගර සහ විමල් ජේ. ශ්‍රියාරත්න ද සමගින් සිංහල ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට විය. ටිටර් යුගයේ ශිල්පියෙකු වූ ‘සාදිරිස් මාස්ටර්’ ඔවුන්ගේ පියාණන්ය.

සුපුන් සඳක් නැගීලා……කිරි බැබලෙන පාරුවේ………
රිඳි කඳක් ගලාලා …පළිගු පුලින තලාවේ …………….

(ගැයුම මිල්ටන් පෙරේරා සමග ආචාර්ය සුජාතා අත්තනායක, සිහින හතක් සිනමාපටය – 1965 ගී පද – නිහාල් ජයසිංහ)

ගීතය නිර්මාණයේදී ඔහු එහි අන්තර් වාද්‍ය සංගීත ඛණ්ඩ සඳහා ‘බැසූන්’ නම් වූ බටහිර ශුෂිර වාද්‍ය භාණ්ඩය යොදාගන්නා ලදැයි කියැවේ. මෙහි ගැයුනු කරුණාරත්න අබේසේකරයන් ලියූ නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායක ගේ ‘පුෂ්ප මකරන්දය මාගේ’……… එයින් එදා අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීතයකි. මෙම සිනමා කෘතිය ජනගත වූ යුගය සිංහල සංගීතයේ නව ප්‍රවණතාවයන් හටගනිමින් පැවති සමයකි. ඒ පසුව ‘කණ්ඩායම් සංගීතය’ ලෙසින් නම් කෙරුණු ‘බටහිර නාදරටා අනුව’ ගායක ගායිකාවන් කිහිපදෙනකු එක්වී විවිධ ස්වර තල ඔස්සේ ගී ගැයූ ගී නිර්මාණය කරන ලදුව, ගීත ශ්‍රාවකයන් වෙසෙසින් බටහිර ගීයට ලැදියාවක් දක්වන්නන් එයින් වශීකෘතව ගිය යුගයයි. ඔහුද, ඊට අනුගත වෙමින්, තමන්ට අවස්ථාව උදාකර දුන් සිනමාකරුවන් හට, පවතින රැල්ලෙන් උපරිම වාණිජමය අනුග්‍රහයක් උදාකර දෙන්නට කැප වෙමින්, උක්ත සිනමාපටය සඳහා පසුව මහත් සේ ජනප්‍රසාදය ලද ගීයක් තැනුවේය.

සක්වළ ලෝකයක් කළා……… ලෝකය සිහිනයක් කළා…….
නාරි ..දේහේ රූපේ ශෘංගාරේ ………………….

(සුජාතා අත්තනායක ඇතුඵ පිරිස)

රෝහිණි ජයකොඩි ගේ ‘හැංගි හොරා’ 1968 දී තිරගත වූයේ, ඔහුගේ මධුරතර ස්වර සංකලනයන්ගෙන් හැඩ වැඩ වෙමිනි.

සොම්නස හද පුරවන්නයි …. රොන්රස බඹරිඳු බොන්නේ…
රේණු සලා නැළවෙන්නයි..ලස්සන මල් ඵලගන්නේ…

(ගැයුම ඉන්ද්‍රානි විජයබණ්ඩාර)

සමකාලීනව භාරතයේ තිරගත වූ ‘දෝස්ති’ නම් වූ සිනමාපටය පසුව මෙහිදී ලද අසාමන්‍ය ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයෙන් උද්දාමයට පත්වූ එවකට ජනප්‍රිය රංගන ශිල්පියෙකුව සිටි කිංස්ලි රාජපක්ෂ එය අනුකරණයෙන් ‘කළණ මිතුරෝ’ නමින් සිනමා කෘතියක් බිහිකරන්නට යෙදුනි. මුල් සිනමාපටයේ වාදනය වූ මවුත්ඕගන්’ නාදරටාවන් ප්‍රතිනිර්මාණය කරමින් ඊට ආචාර්ය ප්‍රේමරත්නයන් ස්වාධීන මධුර ගීතාවලියක් තනා දුන්නේය.

ඒ අනුව කරු අබේසේකරයන් ලියූ ‘කළණ මිතුරු දහමයි’ …,‘උපන් කාට උනත්’.. ‘දිනෙක යන’….,‘බවෙන් බවය’… ගීත එවක නැගී එන යොවුන් ගායන තරුව ආචාර්ය වික්ටර් රත්නායකගේ හඬින්දී‘අභිමාන ධීර වීර වූ අතිජාත භූමි ලංකා……… මොහිදින් බෙග් ඇතුඵ කණ්ඩායම විසින් ගයද්දී ඔගස්ටස් විනයාගරත්නම් ලියූ ‘යුග්ම තාරකා දිළිසෙන’ …….කලාශුරී ලතා වල්පොලගේ හඬින් පණ පෙවිනි. ඒ 1971 වසරේදීය. බෙග් ගේ ගීතය වෙනුවෙන් සාමාන්‍යයෙන් සිනමා සහ වෙළඳ ගී පටිගත කිරීම් සඳහා යොදා නොගන්නා, එහෙත් හමුදා තූර්ය වාදන රසය නංවන ‘බෑග් පයිප්’ (BAG PIPE) නම් වූ සුවිශේෂ බටහිර ශුෂිර භාණ්ඩය යොදාගන්නට ඔහු උත්සුක විය.

ඒ වනවිට ආචාර්ය ප්‍රේමරත්නයන් විසින් තනු නිමවා සංගීතය සංකලනය කරන ලද රමණීය ගීත ද්විත්වයක් ජනගතව, උණුසුම් ශ්‍රාවක ප්‍රතිචාර ලැබෙමින් පැවතියේය. ‘සිංහල සිනමාපටයක ඇතුළත් වූ පළමු ඉංග්‍රීසි ගීත නිර්මාණයට හිමිකම් කීමේ ගෞරවය ඔහු දිනා සිටියේ 1969 වසරේ තිරයේ ඇඳුනු ‘රොමියෝ ජුලියට්’ කථාවක්. හි ඇතුළත් (My Dreams a Roses For My Love…) ගීයේ හඬ මහ සංගීතවේදී සුනිල් සාන්තයන්ගෙනි. ගී පද මර්සලින් ජයකොඩි පියතුමාගේය. එහි ඇතුළත් වේග රිද්ම බයිලා ගී ආරේ ගැයුම ‘සරත් සන්දනායක සහ විමල් ජේ සාගර’ විසිනි. (බැඳි තත් බිඳුනා….මිණිවෙණ වැයුනා…) තවද එහි ඇතුළත් වූ ‘හාරසීයයක් වසරක’ දීර්ඝ ගීතයේ පද මහඇදුරු තිස්ස කාරියවසම්ගෙනි.

ගැයුම නිහාල් ජයවර්ධනය.

ගායකයන් ත්‍රිත්වයක සහභාගීත්වයෙන් සමූහ ගීතයක් නිර්මාණය කර එය ජනප්‍රිය කරවන්නට ඔහු සමත් වූයේ උක්ත වසරේදීම කලඑළි බට ‘බඩුත් එක්ක හොරු’… සළරුවෙනි. (අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ… – විමල් ජේ සාගර, සරත් සන්දනායක සහ හරූන් ලන්ත්‍රා)

මතු සඳහන් කළ ලෙස, නිර්මාණාත්මක නාද රටා මතු කරගන්නට සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ යොදාගැනීමට පරිබාහිරව එක්ස්රේ සේයාපටල වැනි දෑ උපයෝගී කරමින් විවිධ ශබ්ද මතුකරගනිමින් අපූර්ව සංගීත සංකලනයක් මවාදෙන්නට ඔහු පෙරමුණ ගත්තේ හෙන්රි ජයසේනයන්ගේ අතිසාර්ථක ‘හුණුවටයේ කථාව’ වේදිකා නාට්‍යයේදීය.

මානෙල් ජයසේන ගැයූ ‘හෙළ ගැඹුරුයි පුත නොබලන්’…………. (වැල් පාලමේ ගීතය) පසුබිමින් නැගෙන කුණාටුවේ ශබ්දය ඔහු එළෙසින් මවද්දී, 70 දශකයේ දීම වේදිකා ගතවූ ‘සමුද්‍රදේවී’ වේදිකා නාට්‍යයේදී ඔහුගේ කමනීය නාදරටා විස්කම් ශ්‍රවණය කළ හැකිය. එඩී ජූනියර් ගැයූ ‘ගෝවේ ගෑනු පරාදයි’…………. ගැයෙද්දී පසුබිමෙන් නැගෙන සත්ව නාදයන් ගීතයට නැවුම් රසයක් එක් කරන්නට ඇත.

සිනමාපටයේ කතා තේමාවට අනුරූපව ජවනිකා රූපරාමුවලට අනුගතව අතිඋච්ච ස්වරයෙන් ගැයෙන’ සීතල පාළු ඉකිබිඳ හඬනා’… ගායිකා රංජනී පෙරේරාගේ හඬින් ගැයුනේ 1972 දී ‘වීදුරු ගෙවල්’ වෙනුවෙනි. මේ එහි ඇතුළත්ව රසික සම්භාවනාව ලද දෙවන ගීතයයි. මේවයේ ගී පද ධර්මසිරි ගමගේ ශූරීන්ගේය.

පෙම්මල් පිපෙන කැලෑවේ…පෙම් බඹරුන් ඉගිල ගියාවේ…
නොඇසේවා මට කිසිදා තනිවූ බඹර විළාපේ…………..

(මල්ලිකා කහවිටගේ ගායනය)

එස්. රාමනාදන් නම් වූ භාරතීය සිනමාකරුවා හැදූ ‘හිතක පිපුණු මල්’… ඔහුට සිය ප්‍රතිභාව රිසිසේ මුදා හරින්නට අවකාශ ලබාදුන්නේය. එකී ගීතාවලියෙන් ‘සිංහල – ඉංග්‍රිසි’ මිශ්‍ර ගීතයක් (No East No West … – ඩැල්රින් සූබි, රැඟුම් ගැයුම් වැයුම්… – ආචාර්ය නන්දා මලිනී ඉංග්‍රිසි පද්‍ය ඛණ්ඩය රචනය – මර්සලීනු ජයකොඩි පියතුමා සිංහල – ධර්මසිරි ගමගේ) , වෛද්‍ය ආර්. ඒ. ස්පිටල් විසින් වාර්තා කරන ලද සාම්ප්‍රදායික වැදිජන යාතු කර්මයක් ගීයට නැංවීමක් (මාමෙනි මා දෙයියා – ගැයුම – විමල් ජේ සාගර ඇතුඵ පිරිස), ධර්මසිරි ගමගේ ගී පද අනුව පූර්ණ රාගධාරී ගීතයක් (කමලාසනී වන්දනී… – පී. වී. නන්දසිරි), අර්ධ රාගධාරි ගීතයක් (චංචල නුපුර කිංකිණි ජාලේ – සුජාතා අත්තනායක), බයිලා නාද රටාව (පුංචි පුංචි පැංචි කාලේ … – එම්. එස්. ප්‍රනාන්දු) සහ තවත් ද්‍රවිඩ ගීතයක් හඳුන්වා දුන් ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ලාංකීය සිනමාපටයකට නැවුම් මිහිරක් අත්කර දුන්නේය. පෙරළිකාර යමකින් සිය නිර්මාණ හැඩගන්වන්නට තැත් දරන ඔහු දෙවනවරට ද ‘බෑග් පයිප්’ සංගීතය යොදාගත්තේ උක්ත වැදි ගීතය වෙනුවෙනි.

1977 වසරේ දී ඔහු සිනමා ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ටව දශක දෙකක් ගතවෙමින් තිබියදී, ඔහු සංගීත නිර්මාණය කළ ආචාර්ය නන්දා මාලනීගේ හඬින් ගැයුනු අපූර්ව නැළවිලි ගීයක රසය විඳගන්නට ශ්‍රාවක දනන් හට අවස්ථාව ලැබුණේ අමරනාත් ජයතිලකගේ ‘නිවෙන ගින්න’… සිනමාපටයේදීය.

මා හද වාවනු බෑ… දරු සෙනෙහේ……
ආදර අම්මයි මා ..ඔබේ පුතුනේ………………

‘මවුත් ඕගන නාදරසය සිංහල ගීත ලොවින් වියැකී නොයන්නට වගබලා ගත් හෙතෙම, ලංකා ගුවන් විදුලිය හා සමග එක්වී 70 දශකයේ දීම එහි නිර්මිත ගීත නාටකයක් වෙනුවෙන් හඳුන්වා දුන් ගීත පසුව නොමද ශ්‍රාවක සම්මානයට පාත්‍ර විය. (සඳ මඬලේ සිට තරු මඬලේ සිට – මාලනී බුලත්සිංහල, නාඹර ගොයමට රහස් කියාලා – ගුණදාස කපුගේ, රන්වන් රන් කෙත සිපගෙන හමනා… – පණ්ඩිත් අමරදේව සමග චන්ද්‍රිකා සිරිවර්ධන යන මේ ගී පද සියල්ල සමන් චන්ද්‍රනාත් වීරසිංහ) එසේම ගායන ශීල්පී ක්‍රිස්ටෝපර් පෝල් ගේ’රාම සිතා ඔබයි මමයි…(ගී පද හඩ්සන් සමරසිංහ) ඔහු මවුත් ඕගනයෙන් හැඩගැන්වූ තවත් ගීයකි.

හෙළ ගීයේ අසිරිය පොබකළ 'රත්නය'

ගුවන් විදුලියේදී චන්ද්‍රානි ගුණවර්ධන ගැයූ ‘ගගන තලේ විමන් අරා.. සමන් වැළක සුවඳ පෙරා.. (පද රචනය – ජයන්ති කස්තුරිආරච්චි) වෙනුවෙන් කුරුලු ගී හඬ බඳු බටනලා වාදන රසයක් මැවූ ඔහු සිය සොයුරු, විශිෂ්ට තබ්ලා වාදක විමල් ජේ ශ්‍රීයාරත්න වෙනුවෙන් ‘කන්දේ රන් සඳ උන්නා’………. (ගී පද ලූෂන් බුලත්සිංහල) ස්වර මාලාවට, අපූරු වයලීන් නාදරටා මුසු කළේය.

සිනමාවෙන් පරිබාහිරව ඔහු නන්දා මාලිනියට කළ එකම සංගීත නිර්මාණය ‘හිරු බිහිරි සඳ ගොළුයි… තාරකා අන්ධයි’………… මහැදුරු සුනිල් ආරියරත්නගේ ගී පදමාලාවෙන් දොරට වැඩියේ 80 දශකයේ උදාවෙද්දීය.

50 දශකයේ සිට ගීත ගැයූ ප්‍රකට එදා ගායන තරුව ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ ‘රුවන් තොරන් තනා රන් තැඹිලි පොකුරු…(රචක – බණ්ඩාර කේ විජේතුංග) අප සංගීතවේදියා විසින් 60 දශකයේ වෙළඳ තැටියක් උදෙසා නිර්මාණය කරන ලද්දකි.

90 දශකයේදී පවා ඉතා ක්‍රියාශීලීව සිය ශිල්පීය නිපුණතාවය ප්‍රකට කරමින් ඔහු පාසල් සිසුන් සියයකගේ සහභාගීත්වයෙන් දැවැන්ත වෙසක් බැති ගී උළෙලක සත්සර රසය මතු කළේය. පසුකාලීනව ගීත නිර්මාණ ක්ෂේත්‍රයේදී තමන්ට එල්ලවූ බාධක හිරිහැර කම්කටොඵ උදෙසා උපේක්ෂා සහගත නොවූ ඔහු දිවයින හැරගොස් කැන්ගරු දේශයේ ලැගුම් ගත් අතර එහිදී ද, සිය සුපුරුදු කර්තව්‍යයෙන් නොමිදී සිටියේය.

1958 වසරේදී ‘එකමත් එක රටක’ නම් වූ සිනමාපටයෙන් සලරූ ගීත කලාවට පිවිසි ඔහු, එවකට සංගීතය හදාරණ සිසුන් හට ගුරු හරුකම් දෙමින්, සිය සංගීත පන්ති හරහා විශිෂ්ටයන්ට පවා නොපැකිළිව නොඅඩුව සිය සංගීත ඥානය බෙදා හදා දුන්හ. ඔහුගේ පසුකාලීන ගීත සඳහා මවුත් ඕගන වාදනයෙන් සහය වූ නැසීගිය සංගීතඥ මර්වින් ප්‍රියන්තයන් ද, සිය ආදරණීය ගුරුතුමා පිළිබඳව මහත් බැතින් නිතර සිහි කළේය. (කළණ මිතුරෝ මවුත් ඕගන් වාදනය කුමාර් මොල්ලිගොඩ විසිනි)

එදා නව රජයේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ලංකා ගුවන් විදුලිය උදෙසා රචනා කළ දේශාභිමානී ගීතාවලිය ඔවුන් විසින් තැටියක් ලෙස එළිදැක්වූයේ 1978 වසරේදී පමණය. ආචාර්ය ෂෙල්ටන් එහි ඇතුළත් වූ ගීත කිහිපයකට තනු නිර්මාණය කර සංගීතය සැපයූ අතර ඒවා එතැන් හී සිට ගුවන් විදුලි අරුණ උදා ගී රසවත් කළේය. ඒවා අතරී‘රුව නොමැති ළඳක් නම්…., වාසනාව වැඩ ඉන්නේ… (ගීත යුගළයේම ගැයුම රාජ්‍ය සංගීත කණ්ඩායම සමූහ ගැයුම් ලෙස), ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයු ‘උත්සාහය උක් දන්ඩක් වැන්නේ… නිර්මාණයේදී ඔහු ඇයගේ හඬම අන්තර් වාද්‍ය ඛණ්ඩ සංගීතවත් කරන්නට යොදගනු ලැබීය.

ආචාර්ය ප්‍රේමරත්න ඔහුගේ හිරිමල් වියේ ගීත පබැඳුම් කලාවේ ශිල්ප දැක්වූ බව දැනකියා සිටින්නෝ විරළ විය හැකිය. 50 දශකයේදී වෙළඳ තැටි ලේබලයක් උදෙසා ඔහු විසින්ම රචනා කර, තනු නිර්මාණය කරවා සංගීතවත් කළ ගීතයක් එක්තරා යුගයක නිරන්තරයෙන් ගුවන් විදුලි අසන්නන්ගේ මුවින් මුව රැව් දුනි.

ඔන්න ඕලු මලක් නිල් දිය මත පාවෙලා……..
යාවි ඈගේ සුපෙම් බඹර රාජා සොයා………

අන්න මාළු රැළක් නිල්දිය මත පිහිනුවා….
ඒ මිහිර බලා නෙළුම් මල් සිනාසුනා…

(ඇන්ජලීන් (ද ලැනරෝල්) ගුණතිලක සමග මොරිස් දහනායක)

1931 වසරේ බක් මස විසිනම වැනි දාතමින් ජන්ම ලාභය ලබා, අනූතුන් වසරක දීඝායු ලද මේ විශිෂ්ට සංගීතවේදියාණෝ පසුගිය මැයි මස 30 දින දී ඔස්ට්‍රේලියාවේදී සිය සසර චාරිකාවේ එක් පියවරක් නිමාවට පත් කළේය.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment