හෙළ බස හෙළි කළ මහ වියතාණෝ

545

සිංහල භාෂාව හෙබවූ පුන් සඳක් බැස යයි. සාහිත්‍යය එකලු කළ පහනක් නිවී යයි. හෙළ හවුල් වියත් පෙළෙහි දෙවන පරපුරෙහි දෙටු සුබැයියාණෝ හෙළයෙන් සමුගනිති. හෙළ බස් මිණි සඳදස් කෝපරහේවා සූරීහු සියවසකට අසල වූ දිවි ගමන නිම කෙරෙති.

 1923 ජනවාරි 23 වනදා මාතර පඹුරන දී චාල්ස් විලියම් කෝපරහේවා පියාණන්ට දාව ලීලා අභයගුණරත්න මෑණියන් කුසින් බිහිවූ සඳදස්හු එකල වජිරාරාමයේ වැඩසිටි, සිරිලක පතළ මහ තෙර නමක් වූ පඹුරන මෙත්තෙය්‍ය හිමියන් හට ගිහි නෑකමින් බෑනණු කෙනෙක් වූහ. මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයයෙනුදු මාතර සාන්ත තෝමසයෙනුදු අධ්‍යාපනය ලැබූ සඳදසුනට (චන්ද්‍රදාසයනට) මහත් කම්කටොලු, පිරිපත මැද උගන්නට සිදු වූයේ පියාණන්ගේ වියොව නිසාය. එයින් අධෛර්යයට පත් නොවූ ඔහු මැනවින් ඉගැන්ම නිමා කොට 1947 දී මාතර වෙලේගොඩ සුදර්ශන විද්‍යාලයයේ පාලි හා ඉංගිරිසි ගුරුවරයකු ලෙස පත්වීමක් ලදහ.

 ඉනික්බිති 1951 දී ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහල් ගුරුවරයකු ලෙස පත් වූ කෝපරහේවා සූරීහු එහිදී සිංහලයත් චිත්‍ර කලාවත් ඉගැන්වූහ. දැඩි විනයක් පවත්වාගෙන ගිය ගුරුවරයකු වුවද ඔහු සිසුන්ගේ ආදරයට ලක්වූ ගුරුවරයෙක් වූහ. හුනු කූර අත ඇති කල ලොව කවර දෙයක් වුවද ගල් ලෑල්ලෙහි ඇඳ දැක්වීමට ඔවුන් සමත් වෙතියි යනු එකල සිසුන් අතර පිළිගැනුණු මතයක් විය.

 සාන්ත තෝමසයේ සිටින කල දී කෝපරහේවයෝ සිසුන්ගේ චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් ම පැවැත්වූහ.

 පැලෑනේ සිරි වජිරඤාණ මහනාහිමිපාණන් පටන් අද සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් තෙක් එහි වැඩ සිටි උගත් සිල්වත් මහ තෙරවරුන් ඇසුර ඔවුන්ගේ ජීවිතයට අගනා එළියක් විය. කලක් ඔහු සීමා සහිත විජය පුවත්පත් සමාගමයේ උපදේශන සංස්කාරකවරයකු සේ ද කටයුතු කළහ.

 කෝපරහේවා සූරීන්ගේ සිංහල භාෂා සාහිත්‍ය සේවාව ඇරැඹෙනුයේ ඉතා තුරුණු වියේදීම ය. 8 වන ශ්‍රේණියේ සිටියදී කුමාරතුංගයන්ගේ ‘පිය සමර’ කියැවීමෙන් ප්‍රබෝධයට පත් ඔහු ‘පිය වියොව’ නමින් කුඩා කවක් ලියා කුමාරතුංගයන් වෙත යැවූ බවද කුමාරතුංගයන් එය කියවා කෝපරහේවයන් හමුවන්නට කැමති බව දැන්වුව ද ඒ හමුව යම් කිසි කරුණක් නිසා වැළැකුණු බවද කියැවේ. කෙසේ වුවද 1941 පටන් ඔහු සුබස සඟරාවට ගැදි පැදි පබැඳුම් සැපැයූ එකල්හි සිටම හෙළ හවුලේ මුල් පෙළෙහි ඇතුළතෙකු වූ එතුමෝ දිගු කලක් එහි අනුනයු (උප සභාපති) කෙනකුන් සේ ද සිටියහ. එතුමන් කළ මෙහෙවර උදෙසා හෙළ හවුලින් ‘හෙළ බස් මිණි’ ගරු නම ද ‘දෙටු සුබැසි හරසර’ ද පිරිනැමිණ.

 කෝපරහේවා සූරීන්ගේ මුල්ම පොත ආර්. එච්. විලෙන්ස්කි ලියූ  “Mද්‍යnද්‍යature Hද්‍යstory of Europද්‍යean Art” නම් පොතෙහි පරිවර්තනයයි. එය 1958 දී ‘යුරෝපා කලාවේ ලුහුඬු ඉතිහාසය හා යුරෝපා කලා හෙළ කලා සසඳුව’ නමින් පළවිය. ‘ජගත් කලාකරු කතන්දර, ‘ලියනාඩෝ ඩාවින්සි’ රෂායෙල්, යුරෝපා කලා ඇගැයුම’ කලාව පිළිබඳවැ ලියූ වෙනත් පොත්පත්ය.

 ‘දහම් ගැට මාලා විවරණය’ කෝපරහේවයන් ලියූ විශිෂ්ට ග්‍රන්ථයෙකි. ‘මෙත් හිමි සමරුව’ පැදි පොතෙහි ‘වියොවග රත්නමාලය’ ද ඔවුන් අතින් සකස් වී පළවිය. ‘Cutt of Goddess Pattද්‍යnද්‍ය ඉගිරිසියෙන් ලියන ලද්දකි.  “Spoken Sද්‍යnhala for Foreද්‍යgners”. එඩ්වින් රණවන හා ලියන ලදී. එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ සුප්‍රකට ,”Lද්‍යght of Asද්‍යa” කාව්‍යය ද ඔවුන් අතින් සිංහලයට පෙරැළුණ ද නව මන් පළ නොවීය. සඳදස් කෝපරහේවයන් කළ විශිෂ්ට භාෂා සිහිත්‍ය සේවාව අගයා රජයෙන් ‘කලාභූෂණ’ සම්මානය පිරිනමන ලදී. මහරගම ධර්මායතනයෙන් ද එතුමනට හරසර බුහුමන් දක්වනු ලැබිණ.

 කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල අංශාධිපති සුප්‍රකට විද්වතකු වන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, වෛද්‍ය සනත් කෝපරහේවා දෙපළගේ පියාණන් වූ එතුමෝ අපිස් සතොස් දිවියක් ගත කළ බැතිමත් බුදුනුවෙක් ද වූහ.සඳදස් කෝපරහේවා සූරීන් වැන්නෝ ඉතා දුලබ වෙති. සිංහල ඉගිරිසි දෙබසෙහි ම එක සේ හසළ සඳදස් කෝපරහේවා සූරීන් වැන්නෝ දුර්ලභ වෙති. එතුමන්ගේ වියොව සිංහල භාෂා සාහිත්‍යයටත් විශේෂයෙන් හෙළ හවුලටත් ඉමහත් පාඩුවෙකි.

 ● ශ්‍රීනාත් ගණේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment