හේන්යාය ඇළේ දිය නෑමට ගිය සීයා සහ සිගිති මිනිබිරිය දියේ ගිලී මියයති

176

ඉංගිරිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් නම්බපාන හේන්යාය ඇළේ දිය නෑමට ගිය පෙර පාසල් වයසේ දරුවකු සහ ඇගේ සීයා පෙරේදා (31 දා) අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ඌරුගල, ඌරුගල්පොත ලිපිනයේ පදිංචි හේවාදේවගේ සෝමදාස නමැති 68 වියැති පුද්ගලයකු සහ හේවාදේවගේ නෙතුලි දහම්සා නමැති 5 හැවිරිදි සිඟිති දියණියකි. සිද්ධිය වූ දින මියගිය දියණියගේ පියා වන හේවාදේවගේ හසිත පි‍්‍රයන්ත මහතා රැකියාවට ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 05 සහ 08 වයසේ දරු දෙදෙනාත්, ඔහුගේ බිරිඳ සහ දෙමව්පියන් දෙදෙනාත් පමණි. වෙනදා මෙන්ම දරුවන්ගේ සීයා විසින් දරු දෙදෙනාව නිවස ඉදිරිපිට ඇති හේන්යාය ඇළට දියනෑම සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී සිඟිති දියණියව ගලක් මතට තැබීමට යෑමේදී ලිස්සා යෑම නිසා දෙදෙනාම වතුරට වැටී ඇත.

මෙම අනපේක්‍ෂිත සිදුවීමෙන් අනතුරුව ඉතිරිවූ දරුවා නිවසට දිව ඇවිත් සිදුවීම තම මව ඇතුළු නිවැසියන්ට පවසා ඇති අතර අනතුරුව සියලූ දෙනා සිද්ධිය වූ ස්ථානයට දිවගොස් අසල්වාසීන්ගේ සහාය ඉල්ලා කෑගසා ඇත.

අනතුරුව ලිස්සා ගිය පර්වතයේ සිට මීටර් 100 ක් පමණ දුරින් ගසක රැඳී තිබියදී දරුවාගේ සීයාගේ සිරුර පළමුව සොයාගෙන ඇති අතර එම ස්ථානයේම ඇළ පතුලේ තිබී සිඟිති දියණියගේ සිරුර සොයාගත් බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

මේවන විට පී.සී.ආර්. පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකිරීමට මළ සිරුරු හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (2 දා) සිදුකිරීමට නියමිත බව ඉංගිරිය හදිසි මරණ පරීක්‍ෂක ඉන්දිම කනත්වත්ත මහතා පවසයි.

ඉංගිරිය වැඩබලන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.යූ.අයි. ප‍්‍රනාන්දු මහතගේ මූලිකත්වයෙන් ඉංගිරිය පොලිසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අඟුරුවාතොට – මංගල ප‍්‍රසන්න
 

advertistmentadvertistment
advertistmentadvertistment