හේන් ගොවි පවුල් ලක්ෂ හතරක් පොහොර – බීජ නැතිව අසරණ වෙති

319

බඩඉරිඟු ඇතුළු අතිරේක ආහාර භෝග වගා කරන හේන් ගොවි පවුල් ලක්ෂ 03ත් 04ත් අතර ප‍්‍රමාණයක් පොහොර සහ බීජ ප‍්‍රශ්නය නිසා අසරණ වී ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝාන් මහතා පැවසීය.

හම්බන්තොට, ඇඹිලිපිටිය, මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මාතලේ, අම්පාර, මඩකලපුව, වවුනියාව ඇතුළු දිස්ති‍්‍රක්කයන්හි හේන් ගොවිතැන් කරන සියයට 60ක පමණ ගොවීන් ගොවිතැනින් ඉවත් වී ඇති බව ද ඔහු කීය. මෙම ගොවීන් අතරින් බඩඉරිඟු ගොවීන් දැඩි ලෙස අර්බුදයට මුහුණපා සිටින බවත්, එයින් බඩඉරිඟු අස්වැන්න අඩුවීම නිසා කුකුළු පාලනයේ නිරත ගොවීන්ට ආහාර අර්බුදයකට මුහුණපෑමට සිදුවන බවත් ඔහු කීය.

එසේම කුරහන්, තල, මුං, කව්පි, උඳු, රටකජු වැනි ධාන්‍ය වර්ග පවා පසුගිය වසරවල ආනයනය කළ ප‍්‍රමාණයට වඩා සියයට 70ක් පමණ මේ වසරේදී ආනයනය කිරීමට සිදුවනු ඇති බව ද තෙන්නකෝන් මහතා පැවසීය. දැනටමත් බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 05ක් පමණ ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් මේ වසරේදී රටේ වගා කළ හැකි සියලූම භෝග ද පිටරටින් ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment