හොකී තරගාවලියේ 20න් පහළ ශූරතාවය මහනුවර සහ ගාල්ලට

139

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු 55 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මහනුවර පාසල් (නිල්) කණ්ඩායම සහ ගාල්ල පාසල් (රන්) කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගාවලියේ බාලිකා ශූරතාව තහවුරු කර ගැනීමට පුත්තලම පාසල් කණ්ඩායම සමත්වූ අතර මහනුවර පාසල් (නිල්) කණ්ඩායමට අනු ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.

බාලක තෙවැනි ස්ථානය කොළඹ පාසල් (රතු) පිලට හිමි වූ අතර මාතලේ පාසල් පිල බාලිකා තෙවන ස්ථානය දිනා ගත්තේය.

බාලක සහ බාලිකා තෙවන අනු ශූරතාව පිළිවෙළින් කොළඹ පාසල් (රතු) පිලට ද මාතලේ පාසල් (රන්) පිලට ද හිමි විය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර පාසල් (නිල්) කණ්ඩායම නියෝජනය කළ තරූෂ පල්ලේවත්ත අභිෂේක ලැබූ අතර පුත්තලම පාසල් කණ්ඩායම නියෝජනය කළ නිපුනි ඉෂාරා ප්‍රනාන්දු දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

හොකී තරගාවලියේ 20න් පහළ ශූරතාවය මහනුවර සහ  ගාල්ලට

දක්ෂතම ගෝල් රකින්නා ලෙස අවිශ්ක මධුවන්ත (ගාල්ල පාසල් රන්) ද දක්ෂතම ගෝල් රකින්නිය ලෙස පී. නීලියා කෞෂිණී (පුත්තලම පාසල්) ද තිළිණ ලැබූහ.

ගාල්ල (රන්) සහ මහනුවර (නිල්) අතර පැවති තීරණාත්මක අවසාන තරඟය ගෝල් 01 – 01ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් වීම හේතුවෙන් ශූරතාව සමව ප්‍රදානය කිරීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය තීරණය කළේය.

තරගය ඇරඹී 05 වැනි මිනිත්තුවේදී ආරම්භක ගෝලය සටහන් කිරීමට ගාල්ල පිල වෙනුවෙන් කුෂාන් රත්නසූරිය සමත් වූ අතර 22 වැනි මිනිත්තුවේ දී ගෝල් තත්ත්වය සම කිරීමට මහනුවර පිල වෙනුවෙන් භානුක රණසිංහ ට හැකි විය.

කොළඹ (රතු) සහ මාතලේ (රන්) අතර පැවති දෙවන අනුශූරයන් තේරීමේ තරගයෙන් ගෝල් 1- 0 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට කොළඹ රතු පිල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

බාලක අවසන් පූර්ව වටයේදී ගාල්ල (රන්) කණ්ඩායම හමුවේ කොළඹ (රතු) කණ්ඩායම දඬුවම් පහර (08 Seconds penalty Shoot Out)) ආශ්‍රිතව ගෝල් 4 – 3 කින් ද මහනුවර (නිල්) කණ්ඩායම හමුවේ මාතලේ (රන්) කණ්ඩායම දඬුවම් පහර (08 Seconds penalty Shoot Out)) ආශ්‍රිතව ගෝල් 4 – 3 ක් වශයෙන් ද පරාජය ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වර ශූරයින් වූ මාතලේ (රන්) පිලටද අනු ශූරයන් වූ කොළඹ (රතු) පිලට ද මෙවර තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි.

ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයකට වරම් ලබාගත් පුත්තලම කණ්ඩායමට එරෙහිව ශූරතාව තහවුරු කර ගැනීම සඳහා උත්සාහ කළ මහනුවර පාසල් (නිල්) කණ්ඩායමට ගෝල් 2 – 0 ක පරාජයක් අත් විඳීමට මෙවර බාලිකා තරගයේ දී සිදු විය.

තරගය ඇරඹී ප්‍රථම භාගයේදී දෙපිලම සම තත්ත්වයක පසුවත් දෙවන භාගයේ 08 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් පළමු ගෝලය වාර්තා කිරීමට මධුෂිකා ප්‍රනාන්දු සමත් වූ අතර 12 වැනි මිනිත්තුවේ දී දෙවන ගෝලය තම පිලට එක් කිරීමට දිනුලී නිහංසා පෙරේරාට හැකි වූවා ය.

මාතලේ පාසල් පිල සහ කොළඹ පාසල් (රතු) පිල අතර පැවැති දෙවන අනු ශූරීන් සෙවූ තරඟයේ දී ගෝල් 2 – 0 ක ජයග්‍රහණයක් සටහන් කර

ගැනීමට මාතලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

බාලිකා අවසන් පූර්ව වටයේදී පුත්තලම හමුවේ මාතලේ පිල ගෝල් 4 – 0 කින් ද මහනුවර (නිල්) පිල හමුවේ කොළඹ (රතු) පිල ගෝල්
3 – 0 කින් ද පරාජය ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment