හොකී ශූරතාව ශාන්ත ඇලවීෂියස්ට සහ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විදුහලට

95

කොළඹ කෘතිම ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද 39 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 20 න් පහළ බාලක හොකී ශූරතාව දිනා ගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ එකී බාලිකා ශූරතාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විදුහල සමත් විය.

මෙවර බාලක අනු ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල ට හිමිවූ අතර දෙවන අනු ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ට සිදු විය.

බාලිකා අංශයේ අනු ශූරතාව නාවල ජනාධිපති බාලිකා විදුහලට හිමි වූ අතර දෙවන අනුශූරතාව මහනුවර සීතාදේවි බාලිකා විදුහල සතු විය.

ශාන්ත ඇලවීෂියස් සහ විද්‍යාර්ථ යන දෙවිදුහල් අතර පැවති තීරණාත්මක අවසාන තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ඉසිලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම සඳහා දඬුවම් විදීම් උපයෝගි කර ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු විය. එහිදී ගෝල් 04 – 03 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල ට හැකියාව ලැබිණි. ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විදුහල සහ ජනාධිපති බාලිකා විදුහල අතර තරගය පුරා ආක්‍රමණික ක්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් 03 – 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශුද්ධ වූ පවුලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශාන්ත ඇලවීෂියස් විදුහල නියෝජනය කළ උදේශ් සංදීප අබේවර්ධන අභිෂේක ලැබූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශුද්ධ වූ පවුලේ බාලිකා මහ විදුහලේ නිපුනි ඉෂාරා ප්‍රනාන්දු සම්මාන ලැබුවාය. ජයග්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) දයා බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment