හොඳටම කරලා ගෙදර යන යුරෝපයේ ලොකු අක්කා

1383

ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුව හඳුන්වන්නේ බුන්ඩස්ටැග් (Bundestag)  නමිනි. ඒ සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ මැතිවරණය අද එනම් සැප්තැම්බර් 26 දින පැවැත්වේ. මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව ජර්මනියේ නව චාන්සලර්වරයා තෝරා පත්කර ගැනීමට නියමිතය. ඉන් පසුව ඇන්ජලා මර්කෙල් යුගය නිමාවට පත්වේ. කෙසේ වුවද පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව නව චාන්සලර්වරයා තෝරා පත්කර ගන්නා දිනය තෙක් මර්කෙල් මැතිනිය සිය ධුරයේ කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතය.

 වර්ෂ 2005 දී ජර්මානු චාන්සලර් ධුරයට පත් වූ ඇන්ජලා මර්කෙල් අද දක්වා වසර 16ක් එක දිගට එරට පාලනය කළාය. 2018 දී පැවති මැතිවරණයෙන් සිව්වන වරටත් ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව තමන් මීළඟ මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු නොවන බව ඇය ප‍්‍රකාශයට පත්කළාය. ඒ අනුවම යමින් ඇය එම වසරේ දෙසැම්බර් මාසයේදී තම දේශපාලන පක්ෂය වූ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ  (CDU)  නායකත්වයෙන් ඉල්ලා අස්විය. යුරෝපා සංගමයට අයත් රාජ්‍ය නායකයන් අතරින් දීර්ඝතම කාලයක් සේවය කළ නායිකාව වන්නේ ඇන්ජලා මර්කෙල්ය. ඇයගේ ඉවත්වීමෙන් ඇතිවන දේශපාලන රික්තය යුරෝපා කලාපයට පමණක් නොව පොදුවේ සමස්ත ලෝකයේම භූ දේශපාලනික සැකැස්ම කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරනු ඇතැයි අපේක්ෂිතය.

 *  යුරෝපයේ ලොකු අක්කා

 ජරමානු චාන්සලර්වරියගේ වයස දැන් අවුරුදු 67 කි. ඇයට අවශ්‍යනම් මෙවර මැතිවරණයටත් තරග කර ජයගැනීමේ හැකියාව ඕනෑතරම් තිබුණි. ජර්මානුවන්ගෙන් සාතිශය බහුතරය ඇය තමන්ගේ නායිකාව ලෙස තවදුරටත් සිටිනවාට කැමතිය. යුරෝපා සංගමයේ නායකයන්ගේ ජ්‍යෙෂ්ඨතමයා නොහොත් යුරෝපයේ ලොකු අක්කා ඇයයි. ඇය තම දීර්ඝකාලීන පාලන කාලය තුළ ජර්මානු නායිකාව වශයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් සිව් දෙනකු, බි‍්‍රතාන්‍ය අගමැතිවරුන් සිව්දෙනකු හා ඉතාලි අගමැතිවරුන් හත්දෙනකු සමග කටයුතු කර ඇත. ජර්මානුවන් පමණක් නොව අනෙකුත් යුරෝපීය ජාතිකයන් පවා විශ්වාස කරන්නේ ජර්මනියේ ස්වර්ණමය යුගය පැවතියේ මර්කෙල් පාලනය යටතේ බවයි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විද්වතුන්ගේ යුරෝපීය කවුන්සලය විසින් පසුගිය ගිම්හානයේදී යුරෝපා රටවල් 12ක පවත්වන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල පසුගිය දා එළිදක්වා තිබුණි. ඒ අනුව යුරෝපය එක්සත්ව තබාගැනීමේ ගාමක බලවේගය ලෙස බොහෝ යුරෝපීයයන් සලකන්නේ ඇන්ජලා මර්කෙල් ය. ලොව අනෙකුත් කලාපයන්ට සාපේක්ෂව යුරෝපය යනු මෑත අතීතය දක්වාම යටත් විජිතයන් පවත්වා ගත් ප‍්‍රබල හා ශක්තිමත් රාජ්‍යයන් කිහිපයක එකතුවකි. එකිනෙකා හා යුද වැදුණු පසමිතුරු රාජ්‍ය වල එකමුතුවකි. එවැනි කලාපයක් එක්සත්ව තබාගැනීම ලෝක සාමයට කෙතරම් හිතකරද යන්න අමුතුවෙන් කිව යුතු නැත. අනෙකුත් බොහෝ යුරෝපා රටවල් තම අතීත පුරාජේරු පසෙක ලා ජර්මනිය යුරෝපා සංගමයට නායකත්වය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව නොරහසකි. ඊට ප‍්‍රධාන හේතු වන්නේ ඇන්ජලා මර්කෙල්ගේ සංයමයෙන් යුත් දේශපාලන භාවිතය හා ඒ නිසාම ගොඩනැඟුණු කීර්තිමත් දේශපාලන පෞරුෂයයි. යුරෝපා සංගමය තුළ මර්කෙල් මැතිනියගේ නායකත්වය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය සිහිගන්වන බව විදේශ වෙබ් අඩවි කිහිපයක් පසුගිය සතියේ වාර්තාකර තිබුණි.

 ජර්මනියේ බිහිවූ කුප‍්‍රකට චාන්සලර්වරයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ට යුරෝපයේ නායකයා වීමේ සිහිනයක් තිබුණි. ඒ සඳහා ඔහු භාවිත කළේ අතිශයින් නිරනුකම්පික ෆැසිස්ට්වාදී මාර්ගයකි. ඔහුගේ සිහිනය සැබෑ නොවූව ද දෙවන ලෝක යුද්ධය අවසාන වන විට ලෝක ජනගහනයෙන් මිලියන 75 ක් තම ජීවිත වලින් වන්දි ගෙවා තිබුණි. නමුත් ඇන්ජලා මර්කෙල් යුරෝපයේ නිල නොලත් නායිකාව නොහොත් de facto leader ලෙස  පිළිගැනීමට බොහෝ යුරෝපීයයන් කැමතිය. ඒ නිසාම ”යුරෝපයේ රැුජින” යන විරුදාවලියෙන් ද ඇයව හඳුන්වයි. ඇය ඒ සියලූ ගෞරවයන් උපයා ගත්තේ බලහත්කාරයෙන් නොව මිලියන ගණන් ජනතාවගේ හදවත් දිනා ගැනීමෙනි. ෆැසිස්ට්වාදය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුගමනය කිරීමෙනි.

 වර්තමාන ලෝකය කෙරෙහි ඇයගේ බලපෑම අවිවාදිත අතර ඒ නිසාම ඇය පෘථිවිය මත සිටින බලවත්ම කාන්තාව බවට තර්ක කරන බොහෝ පිරිසක් වෙති. යුරෝපයේ හා ඉන් පරිබාහිරව සුදු ජාතිකයන් ජීවත්වන සෙසු රටවල් වල අන්ත දක්ෂිණාංශික, ජාතිවාදී නැඟී සිටීම් දක්නට ලැබුණ ද මර්කෙල්ගේ ජර්මනිය තුළ එවැන්නකට ඉඩ නොලැබුණු තරම්ය. මධ්‍ය දක්ෂිණාංශික ලිබරල් කොන්සවේටිව් දේශපාලනය විශ්වාස කළ මර්කෙල් එම අදහස් දරන්නන්ට අනුව නිදහස් ලෝකයේ නායිකාවයි. ෆෝබ්ස් සඟරාව විසින් වර්ෂ 2006 සිට 2009 වසර හතරකුත් 2011 සිට 2020 දක්වා වසර දහයකුතත් ලෝකයේ බලවත්ම කාන්තාව ලෙස නම් කළේ ඇන්ජලා මර්කෙල්ය. ලෝකය පුරා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කළ ලිබරල් කොන්සවේටිව් අදහස් දරන්නන්ට ඇය විශාල ශක්තියක් වූ බව රහසක් නොවේ. ඇය ජර්මනියේ චාන්සලර් ධුරයට පත් පළමු කාන්තාව වන අතර ස්වකැමැත්තෙන්ම ධුරය හැර යන පළමු චාන්සලර් ලෙස ද ඉතිහාසගත වනු ඇත.

 * ඇන්ජලා මර්කෙල්ගේ ගමන්මඟ

 ඇන්ජලා මර්කෙල් උපන් කාලය වන විට ජර්මනිය බටහිර හා නැගෙනහිර ලෙස රාජ්‍යයන් දෙකකට වෙන්ව තිබුණි. බටහිර ජර්මනියේ හැම්බර්ග්හි දී උපන් මර්කෙල්ට ළදරු අවධියේදීම නැගෙනහිර ජර්මනියට යෑමට සිදුවන්නේ ඇයගේ පියා ප්‍රොතෙස්තන්ත ලූතරන් නිකායේ පූජකවරයෙකු වූ නිසාය. ඔහුට නැගෙනහිර ජර්මනියට අයත් පර්ල්බර්ග්හි පල්ලියක දේවගැති ධුරයක් ලැබී තිබුණි. කාල් මාක්ස් සරසවියෙන් භෞතික විද්‍යා උපාධියක් හිමිකර ගත් මර්කෙල් 1986 දී බර්ලින්හි විද්‍යා ඇකඩමියෙන් ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබාගත්තාය. ඉන් පසුව මහාචාර්යවරියක් ලෙස සේවය කළ ඇය 1989 දී දේශපාලනයට පිවිසියාය. ඒ වන විට නැගෙනහිර ජර්මනියට වැටී තිබූ සෝවියට් සෙවනැල්ල ඉවත් වෙමින් තිබුණු අතර ජනතා ඡුන්දයෙන් පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත්ව තිබුණි. තරුණ මර්කෙල් එම රජයේ නියෝජ්‍ය ප‍්‍රකාශිකාව ලෙස කටයුතු කළාය. 1990 දී බර්ලින් තාප්පය බිඳ වැටී ජර්මනිය එක්සත් වූ අතර බටහිර ජර්මනියේ චාන්සලර්වරයා වූ හෙල්මුට් කෝල් මහතා එක්සත් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස පත්විය. ඔහු එවකට ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ නායකයා විය. පැරණි නැගෙනහිර ජර්මානු ප‍්‍රාන්තයක් නියෝජනය කරමින් මර්කෙල් ද පාර්ලිමේන්තුවට තේරී පත්විය. කොන්සවේටිව් මතවාද වලට ආකර්ෂණය වී සිටි ඇය ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ සාමාජිකත්වය ලබාගත් අතර හෙල්මුට් කෝල් මහතාගේ ප‍්‍රබල අනුගාමිකයකු බවට ද පත්විය.

 1991 දී හෙල්මුට් කෝල් රජයේ කාන්තා හා තරුණ කටයුතු ඇමැතිවරිය ලෙස පත් වූ ඇය පසුව විවිධ අමාත්‍ය ධූර හොබවමින් රජයේ ප‍්‍රබල භූමිකාවක් ඉටු කළාය. 1998 දී ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගම් රජය පරාජයට පත් වූ අතර පක්ෂයේ මහ ලේකම් තනතුර මර්කෙල්ට හිමිවිය. ඉන් වසර දෙකකට පසු පක්ෂ නායකත්වය භාර

 ගැනීමට ඇයට සිදුවූයේ පක්ෂයේ අරමුදල් අවභාවිත කළ බවට එහි හිටපු නායකයන්ට චෝදනා එල්ල වීම නිසාය. අඩියෙන් අඩිය දේශපාලනයේ ඉදිරියට පැමිණි මර්කෙල් වර්ෂ 2002 දී විපක්ෂ නායකත්වය පත් වූ අතර තවත් වසර තුනකින් එනම් 2005 දී ජර්මනියේ චාන්සලර් ධූරයට තේරී පත්විය.

 * මර්කෙල් යුගයේ ජර්මනිය

 ඇන්ජලා මර්කෙල්ගේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ අනෙකුත් බටහිර රටවලට වඩා නම්‍යශීලී හා සුහදශීලී ලක්ෂණ පැහැදිලිව දක්නට ලැබුණි. යුරෝපා සංගමය එක්සත්ව තබා ගැනීමට ඇය විශාල කාර්යභාරයක් ඉටුකළාය. නේටෝ සංවිධානය තුළ තිබූ සම්ප‍්‍රදායික ආක‍්‍රමණශීලීත්වය තුලනය කිරීමට ඇයගේ මැදිහත්වීම හේතු වූ බව පෙනෙන්නට තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙර පදයට නටන යුරෝපයක් වෙනුවට වඩාත් මධ්‍යස්ථ යුරෝපයක් බිහි කිරීමට ඇය නායකත්වය සැපයීය. යුරෝපය හා එක්සත් ජනපදය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කළ ද ඇය චීනය හා රුසියාව සමඟ ද මිත‍්‍රශීලී ආර්ථික ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කළාය. ඇය රුසියානු ජනාධිපතිවරයා සමඟ කතාබහ කළේ රුසියානු භාෂාවෙන් වන අතර ඇමෙරිකානු ජනාධිපතිවරුන් සමඟ කතාබහ කළේ ඉංග‍්‍රීසි භාෂාවෙනි.

 මර්කෙල්ගේ ආධාරකරුවන්ට අනුව ඇය ඕනෑම අර්බුදයක් නිසිලෙස කළමනාකරණය කරගත හැකි ස්ථාවර හා ප‍්‍රායෝගික නායිකාවකි. ගෝලීය මූල්‍ය අර්බුදය හා යුරෝපීය ණය අර්බුදය කළමනාකරණය කරගැනීමට ඇය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළාය. ඇයගේ නායකත්වය නොමැති වූවානම් ග‍්‍රීසිය වැනි රටවල් විශාල ආර්ථික අවපාතයකට ලක්වන්නට ඉඩ තිබුණු අතර යුරෝපා සංගමයත් සී සී කඩ යා හැකිව තිබුණි. කෙසේ වුවද බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම නොහොත්  BREXIT  ක‍්‍රියාවලිය සිදුවූයේ මර්කෙල් යුගයේදීය. එය ආපසු හැරවීමට ඇය නොගත් උත්සාහයක් නැති අතර ඒ වෙනුවෙන් හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිවරයාට සහන පැකේජයන් පවා යෝජනා කළාය.

 ඇන්ජලා මර්කෙල් යුරෝපා සංගමයට නායකත්වය ලබා දුන්නේ ලෝකය විශාල දේශපාලන අර්බුද රාශියක පැටලී සිටින අවධියකයි. අරාබි වසන්තය නම් දේශපාලන කුණාටුවෙන් මැදපෙරදිග කලාපයේ ප‍්‍රබල රාජ්‍ය නායකයන් බලයෙන් පහවී එම රටවල් අරාජික වන්නට විය. සිරියාව හා ඉරාකය පාදක කර ගනිමින් අයිඑස් වැනි ඉස්ලාම් අන්තවාදී සංවිධාන අලූත් වටයකින් ඉස්මතු වන්නට විය. යුරෝපයේ අන්තවාදී දක්ෂිණාංශික මතවාද සහිත දේශපාලනඥයන් ඉස්මතු වන්නට විය. අසල්වැසි ඉතාලිය තුළ මත්තේයෝ සල්වීනිගේ ලීග් පක්ෂය වේගයෙන් ව්‍යාප්ත විය. ඔවුන් එක් යුරෝපයක් ප‍්‍රතිපත්තියට මනාපයක් නොමැති අතර ෆෙඩරල්වාදය හා ප‍්‍රාන්තවාදය කරපින්නාගත් අන්ත දක්ෂිණාංශික මතවාදයක අඩිතාලම මත

 ගොඩනැඟී ඇත. සල්විනී වරක් ඉතාලියේ උප අගමැතිවරයා බවට ද පත්විය. යුරෝපා සංගමයට විරුද්ධ වන්නන් පවසන්නේ සෙසු යුරෝපා රාජ්‍යයන්හි සාරය උරා බොමින් ජර්මනිය ඇතුළු ප‍්‍රබල රටවල් කිහිපයක් පමණක් ආර්ථික ප‍්‍රතිලාභ අත්පත් කරගන්නා බවයි.

 තවද රුසියාව හා යුක්රේනය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් යුරෝපය ලෝක යුද්ධයක මුව විටටම පැමිණ තිබුණි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ යුරෝපා සංගමය සමඟ ගැටුම් ඇති කරගත්තේය. ලෝකයේ විවිධ කලාපවල පැවති යුද ගැටුම් හේතුවෙන් සරණාගත අර්බුදය උග‍්‍රවිය. බොහෝ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන්ගේ ගමනාන්තය යුරෝපය වූ නිසා ඔවුන් භාර ගැනීම පිළිබඳව දක්ෂිණාංශික හා වාමාංශික කණ්ඩායම් අතර මතගැටුම් උග‍්‍රවිය. නමුත් සරණාගත ප‍්‍රශ්නය මානුෂීය කාරණයක් සේ සැලකූ මර්කෙල් මැතිනිය සිරියානුවන් මිලියනයකට පමණ සිය රට තුළ දේශපාලන රැකවරණය ලබා දුන්නාය. මෙම ක‍්‍රියාමාර්ගය මානව හිතවාදී දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස මර්කෙල්ගේ අනුගාමිකයන් තර්ක කළ ද විරුද්ධවාදීහු ඇයව දැඩි විවේචනයට ලක්කළහ. ඒ ඇයගේ තීරණය සමස්ත යුරෝපයටම තර්ජනයක් විය හැකි බවට පෙන්වා දෙමිනි. අනාගත ජර්මනිය ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්ගේ තෝතැන්නක් වනු ඇති බවට ද අනාවැකි පළවිය.

 ඇය පිළිබඳව එල්ල වන තවත් විවේචනයක් වන්නේ ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳව ඇය එතරම් උනන්දුවක් නොදැක්වීමයි. සමහර ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ ඇයගේ රජය කෘතිම බුද්ධිය සහ විදුලි වාහන වැනි නැගී එන තාක්ෂණයන් සඳහා ප‍්‍රමාණවත් තරම් ආයෝජනය කර නොමැති බවයි. ඇය ඒ වෙනුවට කීර්තිමත් පැරණි ජර්මානු තාක්ෂණය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ බවක් පෙනෙන්නට තිබේ. නමුත් ජර්මානු කාර්මික නිෂ්පාදනවලට අවශ්‍ය විද්‍යුත් උපාංග සඳහා ඇයට චීනය මත යැපෙන්නට සිදුවූ බව

 පිළිගැනීමට සිදුවේ. කෙසේ නමුත් මර්කල් මහත්මියගේ පාලන කාලය තුළ සිදුවූ ජර්මානු ආර්ථික වර්ධනයේ විශාල පිම්මට හේතුව චීනය සමඟ පැවති වෙළඳාම බව කිව හැකිය.

 එක්සත් ජාතීන්ගේ පාරිසරික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවෙහි නැංවීමෙහි ලා මර්කෙල් මැතිනියගේ දායකත්වය අගය කළ යුතුය. හරිතාගාර වායු විමෝචනය වැළැක්වීම වෙනුවෙන් වූ ඇයගේ දීර්ඝකාලීන ජාත්‍යන්තර මැදිහත්වීම නිසාම ඇයට දේශගුණික චාන්සලර් (ක්‍කසප්එැ ක්‍ය්බජැකකදර* යන නාමය ද පටබැඳී ඇත. කෙසේ නමුත් න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීමේ ක‍්‍රියාමාර්ගයන්ගෙන් කඩිමුඩියේ ඉවත් වීම අනවශ්‍ය පියවරක් බවට ඇයගේ විරුද්ධවාදීහු තර්ක කරති. බලශක්ති හිඟය පියවා ගැනීමට ප‍්‍රමාණවත් තරම් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පුළුල් නොකර න්‍යෂ්ටික බලාගාර වසා දැමීම නිසා ජර්මානුවන් බලශක්තිය සඳහා ඉහළම මිලක් ගෙවන ජාතියක් බවට පත්ව ඇති බව ඔවුහු පවසති.

 යුරෝපයේ හොඳම සෞඛ්‍ය පද්ධතියේ හිමිකම තිබුණ ද අවසාන කාලයේ ඇයට ඇයට මුහුණපාන්නට සිදුවූ බරපතළම අර්බුදය කොරෝනා වසංගතයයි. මුල් වටයේදී යුරෝපාකරය පුරා පැතිරී ගිය වසංගතය හමුවේ එය සාර්ථකව කළමනාකරණය කරගැනීමට ඇයට හැකිවූ අතර අසල්වැසි යුරෝපා රටවල අසාධ්‍ය රෝගීන් තම රටට ගෙන්වා ප‍්‍රතිකාර කිරීමට ද ඇය කටයුතු කළාය. මේ වන විට මරණ සංඛ්‍යාවේ යම් වැඩි වීමක් තිබුණ ද මුල් අවස්ථාවේ සිටම ඇය එන්නත්කරණය පිළිබඳව විශ්වාස කළාය. වසංගතය පමණක් නොව බොහෝ අර්බුද හමුවේ වුවද ආර්ථිකය තුලනය කරගැනීමට හැකි වූයේ ඇයගේ විද්‍යාත්මක ප‍්‍රවේශය නිසා බව පෙනෙන්නට තිබේ.

 * සරල ජීවිතය

 මර්කෙල් මැතිනියගේ පෞද්ගලික ජීවිතය හාරා ඇවිස්සීම මෙවැනි ලිපියකට නුසුදුසු වුවත් ඒ පිළිබඳව කෙටියෙන් හෝ යමක් පැවසීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ එය ලෝකය පුරා සිටින දූෂිත, ප්‍රෝඩාකාරී දේශපාලනඥයන්ට ගසන කනේ පහරක් වන බැවිනි. සැබැවින්ම මර්කෙල් යනු ඇයගේ පළමු විවාහයේ සැමියාගේ වාසගමයි. ඇන්ජලා ඔහුගෙන් දික්කසාද වී වෙනත් විවාහයක් කරගත්ත ද මර්කෙල් නාමය දිගටම භාවිත කළේ පැරණි සැමියාට කරන ගෞරවයක් වශයෙනි.

 ඇයගේ වර්තමාන සැමියා ජෝසිම් සවර් වන අතර ඔහුද ඇය මෙන්ම ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු තම බිරිඳ සමඟ ප‍්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ඉතාම කලාතුරකිනි. බිරිඳගේ කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවන ඔහු ඇයගේ පදවි ප‍්‍රාප්ති උත්සව වලදීවත් දක්නට නොලැබුණු බව අසන්නට ලැබේ. මර්කෙල් මැතිනියට දේශපාලන විවේචන එල්ල කරන ඇයගේ විරුද්ධවාදීහු පවා කිසි දිනක ඇයට දූෂණ හෝ වංචා චෝදනා එල්ල නොකරති. ඇයට ඥාති සංග‍්‍රහ හෝ මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව චෝදනා ද නැත. ඇන්ජලා මර්කෙල් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල හා නිහතමානී කාන්තාවක බව ලෝකයේම පිළිගැනීමයි. බලගතු හා පොහොසත්ම රටක නායිකාවක වුව ද යුරෝපයේ රැජින ලෙස හැඳින්වූව ද ඇය මේ මොහොතේත් ජීවත් වන්නේ දේශපාලනයට පිවිසීමට පෙර පදිංචිව සිටි තට්ටු නිවාසයේය. අතට පයට දැසි දස්සන් පිරිවරා ගත් ජීවිතයක් ඇයට නැත. ඉවුම් පිහුම් වලට අවශ්‍ය කළමනා හා අඩුම කුඩුම මිලදී ගැනීමට කඩ සාප්පු වලට යන්නේ ඇයයි. කෙතරම් වැඩ රාජකාරී තිබුණ ද තමාගේ අතින් සැමියාට උදෑසන ආහාරය සැකසීම ඇය වගකීමක් සේ සලකයි. විදුලිය පිරිමැසීම සඳහා නිවසේ රෙදි සෝදන යන්ත‍්‍රය රාත‍්‍රී කාලයේදී ක‍්‍රියාත්මක කරන බව ඇය වරක් පවසා තිබුණි. තවද ඇය කෙතරම් අරපිරිමැස්මෙන් ජීවත්වනවාද යන්නට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ මාධ්‍යවේදීන්ගේ කැමරා පවා ඊට සාක්ෂි දරන බැවිනි.

 දිනක් එක් මාධ්‍යවේදිනියක් විසින් මර්කෙල් මැතිනියගෙන් ප‍්‍රශ්නයක් අසන ලදී.

 ”චාන්සලර්තුමියනි, ඔබතුමිය එකම ඇඳුම නැවත නැවතත් අදින බව අපට පේනවා, ඔබට වෙනත් ඇදුම් නැද්ද?”

 ”මම රජයේ සේවකයෙක් මිස නිරූපිකාවක් නොවේ.” මර්කෙල් මැතිනිය සිනාසෙමින් පිළිතුරු දුන්නාය.

 ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment