හොඳම නළුවාට සම්මානය ලැහැස්තිද..?

869

වෙනත් වෘත්තීන්ට දක්ෂතා ඇතැයි සිතිය හැකි, එනමුත් පසුගිය කාලේ ටෙලි නාට්‍ය සහ සිනමා නළුවකු ද ලෙස ගමනක් පැමිණ, ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන වක්‍රතාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද පත්වී ටික කලක් පාර්ලිමේන්තුවේ කරක් ගසා (කරක් ගසනවා යනු මසුන් මැරීම සඳහා කරක්ගෙඩිය නම් උගුලක් ඇටවීමය. නමුත් අරමුණක් නැතිව යන්නන් වාලේ යන ගමන් සඳහා ද කරක් ගසනවා යයි සමාජයේ භාවිතා වන යෙදුමක් ඇත.) අමුතු රඟපෑම් කිහිපයක්ම කළ උද්දික ප්‍රේමරත්න නම් අයකු විසින් කරන ලද තවත් කදිම රඟපෑමකට අදාළව සම්මාන සහතික පිරිනැමීම සඳහා පොලිසිය දැන් ඔහු සොයමින් සිටී.

නමුත් මේ නළුවකුද, දේශපාලකයකුද, වෙනත් අයකුද යනු හරියට හඳුනාගත නොහැකි වූ මේ පුද්ගලයා සිය දරු පවුල ද කැටිව මේ වන විට කැනඩාවට (පලා) ගොස් ඇති බව දැනගන්නට ඇත. ඔහු රට යෑමට ඇත්තේ තමාට දේශපාලන තර්ජන ඇති බවට හුවා දැක්වීමෙන් වන්නට පුළුවන. උද්දික නමැත්තා ගමන් ගත් රථයට අනුරාධපුර පිහිටි ඔහුගේ නිවස අසලදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබන්නේ ඔහු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයකුව සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මේ ඊයේ පෙරේදා ය. එතෙක් දේශපාලන සතුරන් නොසිටි උද්දිකට හිටපු ගමන් දේශපාලන සතුරන් ඇති වූවේ කෙලෙසද යන්න සමාජයේ බොහෝ දෙනාට ප්‍රශ්නයක් වූවාට සැක නැත. 2020 මැතිවරණයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන ඔහු ඡන්ද 133,550 ක් වැනි සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩකාර පොහොට්ටු මන්ත්‍රීවරයකු ලෙසිනි. නොහොත් රට හදන වියත් මග පෝලිමේ පැමිණ ය. ගෝඨාභය රජයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ඔහු පසුගිය කාලයට රටට, තමන් නියෝජනය කළ දිස්ත්‍රික්කයට කුමක් කළේද යන්න දන්නේ ඔහු පමණි. වැඩිමනත් ඒ ගැන ඔහුට ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයෝ ද දන්නා බව අපට කල්පනා කළ හැකිය.

කෙසේ හෝ පාර්ලිමේන්තුවේ කල් මර මරා නොසිට තමන් ආ රූපාන්ත්‍රණ ගමනේ තවත් එක පියවරක් ලෙස පොඩි රඟපෑමක් දමා ස්වාධීන වන්නට තීරණය කළ මේ උද්දික තරුණයා මේ අතර තවත් විශාල රංගනයකට දායක වීමට නියමිත බව ඔහුගේ පවුලේ උදවියවත් දැන නොසිටින්නට ඇත. නමුත් ඔහුගේ රඟපෑම පමණක් නොව, ඔහුගේ රඟන චරිතය පවා දැන සිටි තවත් අපූරු මිත්‍රයෙක් ඔහුට සිටියේය. ඔහු නමින් සංජීව මහානාම ය. තනතුරෙන් අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි. පොලිස් නිල ඇඳුම දරාගෙනම ප්‍රදේශයේ “ගල්ටික්” වැඩ රැසකට නායකත්වය දුන් මේ අපූරු මිත්‍රයා ලවා තිර පිටපත ලියාගත් උද්දික මන්ත්‍රීතුමා හරි පුදුම චරිතයකට පණ පෙව්වේය.

එනම්, තමාට නොවැදෙන පරිදි තමා පැදගෙන එන රථයට වෙඩි තබාගැනීමය. සිද්ධියෙන් ඔහුගේ රථයේ පැති වීදුරුවකට වෙඩි වැදී තිබුණු අතර, ජීවිත තර්ජනයට ලක්වූ උද්දික තමන්ගේ රංගනය පරිදි අවසානයේ තම දරු පවුල සමග නතර වූයේ කැනඩාවේ ය. දැන් චිත්‍රපටය සාර්ථකව නිමාවී ඇත. වැඩේ ගොඩ දමා ඇත. තිරපිටපත ලියා, එහි දුෂ්ටයාගේ චරිතයට පණ පෙවූ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මෙම කටයුත්ත සඳහා කොපමණ මුදලක් ගත්තේදැයි අපි තියා පරීක්ෂණ මෙහෙයවන පොලිසියවත් දන්නේ නැත. ඔහු මෙය උද්දිකගේ යාළුකමට කරදුන් දෙයක්ද යන්නවත් අපිවත් පොලිසියවත් තවම දන්නේ නැත. නමුත් වැඩේ කිරි ගහට ඇන්නා සේ ටක්කෙටම සිදුව ඇත. පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ මේ පිළිබඳව කරන ලද දීර්ඝ සොයාබැලීමකින් පසුව ය. එපමණක් නොව, සංජීව මහානාම නමැත්තා පොලිස් යුනිෆෝම් දැරූ කැනහිලෙක් බව හඳුනාගෙන ඇත්තේ ඔහු මීට පෙර කළ කී දෑ අනුවය. එතෙකින් නොනැවතී පරීක්ෂණවල ප්‍රගතිය අනුව තමන්ට කෙළවෙන බව දැනගත් සහකාර පොලිස් අධිකාරී සංජීව සියල්ලම අතහැර දමා මේ වන විට මැලේසියාවට පැනගොස් ඇත.

ඉතිං මෙය අපූරු රංගනයක් නොවන්නේද..? දැන් සියල්ලම අනාවරණය වී ඇති නිසා සහකාර පොලිස් අධිකාරී සංජීවත්, හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නත් පෙරහැරකින් වඩම්මවා ඔවුන්ගේ රංගන සඳහා රාජ්‍ය සම්මාන උළෙලක් පැවැත්විය යුතුය යන්න අපගේ යෝජනාවයි.

සැබැවින්ම මෙහිදී ප්‍රදර්ශනය වන්නේ රටේ දේශපාලනයට, කලාවට, නීතියට, සාමයට සිදුව ඇති ඛේදනීය තත්ත්වයයි. මේ රටේ තවත් දේශපාලකයෝද, කලාකරුවෝද, පොලිස් නිලධරයෝද සිටියහ. ඒ අතර කරු ජයසූරිය වැනි කෘතහස්ත දේශපාලකයන් බිමට හෙළා සීනි බෝල නළු කෙල්ලන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් බව අපට මතක තිබේ. උද්දික නමැත්තන් ගැනත් අපට කියන්නට ඇත්තේ එවන් කතාවකි. ඇතැම් ශ්‍රේෂ්ඨ චරිත රඟපාන්නට මෙවන් කැනහිලුන් යොදාගෙන අපේ කලාකරුවන් විටෙක බලවත් වරදක් කර ඇති බව අපගේ අදහසයි.

මහා නළු ගාමිණී ෆොන්සේකා ගැන කල්පනා කරමු. ඔහු සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම වැඩකර, පාර්ලිමේන්තුවක් වසඟයට ගන්නට කතා කරන්නට, කථානායක ධුරයක් දරන්නට තරම් පෞරුෂත්වයක් දැරූ නළුවෙකි. ඇන්. ඇම්. පෙරේරා වැනි දේශපාලන පතාක යෝධයින් ගනිමු. ලංකාවේ දේශපාලනයට පැමිණි ප්‍රථම රංගන ශිල්පියා වන ඔහු තිරගත නොවූ මුල්ම සිංහල සිනමා පටය ‘රාජකීය වික්‍රමය’ ප්‍රධාන නළුවා වී පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට ද පැමිණ කළ කී දෑ අදත් රටට ආදර්ශයකි. (තිරගත වූ මුල්ම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුවයි). එහෙව් පාර්ලිමේන්තුවකට අද පැමිණෙන මන්ත්‍රී පියරු බබාලා උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය සුරකින හැටි හරි අපූරුය. ඊටම සෙට් වෙන පොලිස් සුනඛයන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවය කෙලෙසති. එනමුත් රටම මුලාකර රටින් පනින්නට තුට්ටු දෙකේ වැඩක් කළ අල ගෙඩියක් තරම්වත් මොළයක් නැති ‘මන්ත්‍රී මොළේ’ හපන්කම හෙළිකරගත් පොලිස් නිලධාරීන්ට අපි ආචාරය පුද කළ යුතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment