හොඳම ප්‍රංශ පාන් සම්මානය අපේ සෙල්වරාජාට

410

ප්‍රංශයේ පැරිස් අග නගරයේ සිටින දිගැති ප්‍රංශ පාන් (බැගුවෙට්) නිපදවන වසරේ හොඳම බේකරිකරු සම්මානය මෙවර එම නගරයේ බේකරියක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු වන තර්ශන් සෙල්වරාජා මහතාට හිමි වී තිබේ. 2006 දී ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වී ඇති තර්ශන්ට හොඳම ප්‍රංශ පාන් නිපදවන බේකරිකරු සම්මානය යටතේ යුරෝ 4000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3.59ක්) මෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් වාසය කරන එලිසි ජනාධිපති මැඳුරේ අමුත්තන්ට වසරක කාලයක් ප්‍රංශ පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුවද හිමිව ඇත.

තමාට පැරිස් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම හොඳම ප්‍රංශ පාන් නිපදවන බේකරිකරු සම්මානය හිමිවීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් තර්ශන් පවසා ඇත්තේ මෙම පුවත දැනගන්නට ලැබුණු විට තමා හැඬූ බවයි.

“අප විදේශිකයන් ලෙස ප්‍රංශයට පැමිණියේ සම්ප්‍රදායික ප්‍රංශ පාන් (බැගුවෙට්) නිපදවීම ඉගෙන ගැනීමටයි. මම හුඟක් සතුටු වෙනවා මෙවැනි ඉහළ පෙළේ සම්මානයක් මට හිමිවීම ගැන. මම පාන් හදන්නේ හොඳම පිටි යොදාගෙන හොඳම ආහාර වට්ටෝරුවකට අනුවයි. මගේ පාන් සෑම විටම නිපදවනුයේ එයට ආදරය මුසු කරමින්. පාන් නිපදවීමේදී සැමවිටම ගායනා කරමින්, සිනාසෙමින් එය සිදු කරනවා” යැයි 37 හැවිරිදි තර්ශන් සඳහන් කර තිබේ. 2009 වසරේ සිට බේකරිකරුවකු ලෙස ක්‍රියා කරන ඔහු වසර දෙකකට පෙර ‘අවු ලෙවින් දෙස් පයිරෙනීස්’ යනුවෙන් පැරිස් නගරයේ තමන්ගේම බේකරියක් අරඹා ඇත.

මෙවර මෙම සම්මානය පිරිනමා ඇත්තේ 30 වැනි වතාවටය. තර්ශන්ට හොඳම බේකරිකරු සම්මානය හිමිව ඇත්තේ තරගයට ඉදිරිපත් වූ බේකරිකරුවන් 175 දෙනකු අතුරිනි. හොඳම බේකරිකරු තේරීමේදී නිපදවන පාන්වල පෙනුම, නිෂ්පාදනය කරන ආකාරය, මිශ්‍රණය, රස හා සුවඳ විනිශ්චය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment