හොරකම් කරපු සල්ලි ගෙවන්නත් ජනතාවගේම සල්ලි හොරකම් කරනවා! – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

93

ජනතාවගේ ඡන්දය දැන් විකෘතිවෙලා

සමගි ජන බලවේගයේ දෙවන සංවත්සරය මේ මස 11 වැනි දිනට යෙදී ඇත. එම සම්මේලනය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග පළ කළ අදහස් මෙසේයි.

ප්‍රශ්නය – සමගි ජන බලවේගයේ සංවත්සරය ජයට ම සැමරීමට සූදානම් වන බව වාර්තා වනවා. ඒ සඳහා තිබෙන සූදානම කෙසේද?

පිළිතුර – සමගි ජන බලවේගයේ දෙවන සම්මේලනය 2022 දෙසැම්බර් 11 වැනිදා පස්වරු 1.00ට කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා ලංකාවේ සෑම පළාතකින්ම, සෑම මැතිවරණ කොට්ඨාසයකින්ම, ආසන බලමණ්ඩලවල නියෝජිතයන් වගේම වෘත්තීය සමිති නායකයන් සහ අනුබද්ධ සංවිධානවල නායකයනුත් කැඳවා තිබෙනවා. ඒ වගේම වෙනත් පක්‍ෂවල නායකයන්, තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසකට ආරාධනය කරලා තිබෙනවා.

ප්‍රශ්නය – පසුගිය 08 වැනිදා 2023 සඳහා වූ අයවැය ලේඛනය සඳහා ඡන්ද විමසීම පැවැත්වුවා. මෙම ආණ්ඩුව මීට පෙර ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව ඡන්දය දීමෙන් වැළකී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඇයි?

පිළිතුර – විශේෂයෙන්ම මේ වනවිට ජනතාවට ජීවන වියදම දරාගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ජනතාවට බදු බර දරාගන්න බැරිවීම, භාණ්ඩ මිල වැඩිවීම, ජල බිල වැඩිවීම, විදුලි බිල් වැඩිවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම නිසා එම තත්ත්වය ඇති වී තිබෙනවා.

එහෙත් එම ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ජනතාව මතම බර පටවනවා හැර ආණ්ඩුවට වෙන කිසිම විකල්පයක් නැහැ. හොරකම් කරන ලද මුදල් පියවීම සඳහත් ආණ්ඩුව ජනතාවගෙන් මුදල් අයකරමින් සිටිනවා. නමුත් මේ දක්වා හොරකම් කරන ලද අය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. එම නිසා මෙවර අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට අපි තීරණය කළා.

ප්‍රශ්නය – ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා ඔබලා බදු අඩු කළ විටත් බදු වැඩි කළ විටත් චෝදනා කරන බව. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනවා කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රට වහන්න කියලා යෝජනා කර, ආණ්ඩුව රට වැසීමට පියවර ගත් පසුව ඊට එරෙහිවත් ඔබලා චෝදනා කළ බව.එම චෝදනාව සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර – අපි එම යෝජනාවන් ඉදිරිපත් කළ අවස්ථාවේදීම එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර නොගත් නිසා තමයි මෙම ප්‍රශ්න ඇති වූයේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමට රට වැසිය යුතු අවස්ථාවේ දී රට වැසුවේ නෑ. ඒ වගේම බදු අඩු කිරීම සිද්ධ කළේ එය කළ යුතු අවස්ථාවක නොවෙයි. එම නිසා තමයි අද ජනතාවට දරාගන්න බැරි ප්‍රමාණයට බදු බර වැඩි කිරීමට සිද්ධ වී තිබෙන්නේ. එම නිසා එම චෝදනාවන්ට කිසිදු පදනමක් නැහැ කියන එක තමයි කියන්න තිබෙන්නේ.

ප්‍රශ්නය – ආදායම් බදු අය කිරීමේ සීමාව ලක්‍ෂ දෙකට සීමා කිරීමට ආණ්ඩුව තීරණය කළත් එම නිසාම ලක්‍ෂය දක්වා පහත දමන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය උපදෙස් ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පැහැදිලි වනවා නේද බදු පැනවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල උපදෙස් අනුව තීරණය කර ඇති බව.

පිළිතුර – ජා්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකු යන ආයතනය සමග ගනුදෙනු කළ යුතු අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තේ නෑ. නිසි අවස්ථාවේදී ඒ සඳහා පියවර ගත්තා නම් අද රට මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. ආණ්ඩුව විසින් කරන ලද වැරදිවල ප්‍රතිඵල තමයි අද දකින්න තිබෙන්නේ. කරපු වැරදිවලට තමයි අද මේ දඬුවම් විඳින්නේ. කනගාටුවට කාරණය තමයි ආණ්ඩුව විසින් කරන ලද වැරදි නිසා ජනතාව පීඩාවට පත් වී සිටීම. ජනතාව එම පීඩනයෙන් මුදාගැනීම සඳහා තමයි අපි දැන් කටයුතු කරමින් සිටින්නේ.

ප්‍රශ්නය – ආණ්ඩුව, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ සූදානමක් තිබෙන බව වාර්තා වනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුත් එම අවස්ථාවේදී ඇමැති ධුර ලබාගෙන ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවත් වාර්තා වනවා.

පිළිතුර – ඔය වගේ කතා අපට මීට පෙරත් අසන්නට ලැබුණා. 20 වන සංශෝධනයට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් පිරිසකුත් මේ වනවිට අපේ පැත්තට පැමිණ තිබෙනවා. 2022 දී ඉදිරිපත් කළ අයවැයට පක්‍ෂව ඡන්ද 157ක් ලැබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා පත් කිරීමේදී ඡන්ද 134ක් ලබා ගත්තා. නමුත් මෙවර අයවැයේදී එම ඡන්ද සංඛ්‍යාව අඩු වී තිබෙනවා. ඒ අනුව බැලුවහම පැහැදිලිව පෙනෙනවා ආණ්ඩුවත් සමග සිටිය මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙන බව.

ප්‍රශ්නය – නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් සමහර පුද්ගලයන්ගේ විවේචනයට ලක්වෙනවා. ඒ වගේම පසුගිය ආණ්ඩුව සමග කටයුතු කළ සමහර පුද්ගලයනුත් මහ බැංකු අධිපතිවරයාව විවේචනය කරන අයුරු දකින්නට තිබෙනවා.මෙම විවේචනයන් සමගි ජන බලවේගය දකින්නේ කෙසේද?

පිළිතුර – මහ බැංකු අධිපතිවරයා හොඳ නිලධාරියකු ලෙස කටයුතු කරන බව පේන්න තිබෙනවා. එසේ තිබිය දී ඔහුව විවේචනය කරන්නේ ඔහු සමග කටයුතු කිරීමට නොහැකි වීම නිසා විය යුතුයි. ඔහුට චෝදනා එල්ල කරන්නේ ඉවත් කිරීමේ අදහසින් විය යුතුයි. තමන්ට ඕන ආකාරයෙන් මහ බැංකු අධිපතිවරුන් පත් කළ නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. මහ බැංකු අධිපතිවරයා හොඳින් කටයුතු කරමින් සිටිනවා. එම නිසා ඔහුව ඉවත් කළ යුතු නැහැ. එසේ තිබිය දී මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට සූදානම් වන්නේ ඔවුන්ට අවශ්‍ය ගනුදෙනු කර ගැනීම සඳහා විය යුතුයි.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් මතය විමසා ඇති බව වාර්තා වනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර – අපි කියන්නේ නිසි අවස්ථාවේදී මැතිවරණය පැවැත්විය යුතු බව තමයි. නමුත් ආණ්ඩුව බයයි මැතිවරණයකට යන්න.

අපිට දැන ගන්න ලැබිල තිබෙනවා නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බලතල තිබෙන බව දැනුම් දී ඇති බව. එම නිසා වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියන එක තමයි අපි කියන්නේ.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ඔබ සඳහන් කළත් ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනකුම මෙම අවස්ථාවේ දී මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර නොගත හොත් සමගි ජන බලවේගය ලෙස ගන්න පියවර කුමක්ද?

පිළිතුර – අපි පාර්ලිමේන්තුව තුළත් ජනතාව සමගත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ගතයුතු පියවරයන් ගන්නවා. දැනටමත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ 16ක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැහිලා මැතිවරණ පවත්වන්න කියලා ලිපියකින් ඉල්ලා සිටියා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු නොකරනවා නම් අපිට ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා විශාල වැඩ කොටසක් කිරීමට සිද්ධ වෙනවා.

පසුගිය මැතිවරණවල දී ජනතාව විසින් ලබාදුන් ජනමතය මේ වනවිට විකෘතිවෙලා තිබෙනවා. ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම ජනතාව විසින් ඉවත් කර තිබෙනවා. දැන් බලයේ සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ආණ්ඩුවක්. එම නිසා අලුත් ජනමතයක් සහිත ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතුව තිබෙනවා. එම නිසා මැතිවරණයන් පවත්වන්න කියලා අපි බලකර කියා සිටිනවා.

ප්‍රශ්නය – යහපාලන ආණ්ඩුව පැවැති සමයේ දී කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනතක් යොදා ගනිමින්, එම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් වැළකී සිටියා. වත්මන් ආණ්ඩුවත් එබඳු උපක්‍රමයක් හරහා මැතිවරණ කල් දැමීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් මැතිවරණ කල් දැමීමේ ක්‍රම සහ විධි හඳුන්වා දීමේ චෝදනාව එල්ල වන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවට නේද?

පිළිතුර – පළමුවෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් කල් දැම්මේ 1975 දී තමයි. එවකට බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුව 1975 දී පැවැත්විය යුතුව තිබූ මැතිවරණය පැවැත්වූයේ 1977 දී. ඒ වගේම පළාත් සභා මැතිවරණය කල් දැමීමත් අපි අනුමත කරන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. එම නිසා තමයි එම ආණ්ඩුව පරාජයට පත් වූයේ. ඒ ආණ්ඩුව කළ වැරදි වැඩ මේ ආණ්ඩුව කරන්නේ ඇයි කියලා අපි අහනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment