හොරකම් නතර කිරීමට ගිහිල්ලයි ගුටිකන්න වුණේ – මන්ත්‍රිනී සුරංගි සමරතුංග

765

පෞද්ගලික වාසි අරමුණෙන් මන්ත්‍රිනී සුරංගි
කාර්ය මණ්ඩලයට අනිසි බලපෑම් කරනවා

අනුරාධපුර මහ නගර සභාවේ ගාලගෝට්ටිය:

අනුරාධපුර මහ නගර සභාවේ කුණු ගොඩේ සිට සිදු කෙරෙන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වහා විමර්ශන සිදු කොට ඊට සම්බන්ධවී ඇති බවට අනාවරණය වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නිසි දඬුවම් ලබා දෙන ලෙස උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව එහි සේවක සේවිකාවන්ගේ ප්‍රහාරයකට ලක්වූ බව කියන එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී සුරංගි අර්. සමරතුංග මහත්මිය පැවැසුවාය.

ප්‍රහාරයෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 68 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇය මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින්, පසුගිය පොසොන් උත්සව සමයේ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පැවැති පුරවර උදානය සැණකෙළියේ රුපියල් දෙසියයක් ලෙස අනුමත කර තිබූ ප්‍රවේශපත් ගාස්තුව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් රුපියල් තුන්සියයක් දක්වා වැඩි කර නාගරික කොමසාරිස්වරයා සහ ගණකාධිකාරීවරිය විසින් ජනතාවගෙන් මුදල් අය කර සිදු කළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා සිටිමින් මම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහතාට ලිපියක් භාර දුන්නා. ඒ පිළිබඳ මේ වන විට උතුරුමැද පළාත් පාලන කොමසාරිස්වරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා. ඒ වගේම එම නිලධාරීන් හොරකම් වහ ගන්න ව්‍යාජ ලේඛන සකස් කර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මහ නගර සභාවට තාර මිලදී ගෙන තිබුණා. ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදු කෙරෙන මෙවැනි වංචා සහ දූෂණ නතර කිරීමට වහා පියවර ගන්නා ලෙස මම නගරාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා. ඒ වගේම මම ඊට එරෙහිව නගර සභාවේදී හඬ නැගුවා.

මේ අතර මම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ආණ්ඩුකාරවරයාට යොමු කළ ලේඛන කෙසේ හෝ වෙනත් පුද්ගලයෙකු අතට පත්වීමෙන් පසු ඔහු විසින් ඒවා සිය මුහුණු පොතේ පළ කොට සටහනක් යොදා තිබුණා. ඒ සම්බන්ධයෙන් කෝපයට පත් නාගරික කොමසාරිස්වරයා මා හට මුහුණු පොතේ හොරා කියා සටහනක් තබමින් නින්දා අපහාස කළා. පසුව පැවැති නගර සභාවේ මුදල් ස්ථාවර කමිටු රැස්වීමේදී මම නගරාධිපතවරයාට කියා සිටියා ඔයගොල්ලො හොරකම් කර මාව හොරෙක් ලෙස හංවඩු ගහන්න එපා කියලා. ඒ නිසා මේ ප්‍රශ්නය විසදා දෙන්න කියා මම නගරාධිපතවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ නාගරික කොමසාරිස්වරයා මගේ ඇගට කඩා වැදී හොරකම් කළේ උඹයි කියා මට පහරදීමට උත්සාහ කළා. එම අවස්ථාවේ මම ඔහුව පැත්තකට තල්ලුකර දැමුවා. ඊට පසු නාගරික කොමසාරිස්වරයාට මම සෙරෙප්පුවකින් පහර දුන් බව කියමින් නගර සභා සේවකයින් උසි ගන්වා කුලප්පු කර මට විරුද්ධව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මම ඒ සේවකයන් සමග අබමල් රේණුවක තරම් තරහක් නෑ. පව් අසරණ සේවකයෝ. මම වැරදිකාරියක් නොවන නිසා ලිපි ශීර්ෂයක් රැගෙන ඒමට එදින නගර සභාවට ගියේ. එම අවස්ථාවේ සේවකයින් පිරිසක් මාව මන්ත්‍රීවරුන්ගේ නිල කාමරයේ සිර කොට මට පහර දුන්න.

එහි සිටි පිරිස ශල්‍ය කර්මයකට භාජනය කොට සිටින, මගේ ගෙල ප්‍රදේශයට ගලකින් ගැහුවා. පපු පෙදෙසට ගැහුවා. මම නගර සභාවේ සේවකයින් වෙනුවෙන් කතා කළ කෙනෙක්. නමුත් කිසිම අනුකම්පාවක් නැතිව මට පහර දුන්නා. කීප දෙනෙක් විසින් මාව බේරා ගත්තා. මගේ සාරිය ඉරා දැමුවා. නගර සභාවේ කුණු ගොඩේ සිට හොරකම් කරන සේවකයින් මට පහර දුන්නේ. එම අවස්ථාවේ නගර සභාවේ සේවයෙහි නියුතු ඇතැම් නිලධාරිණියන් මගේ හැට්ටය සහ සාරිය ඉරා දමා කාන්තාවක් විදිහට මාව අන්ත අසරණ කළා. නගර සභාවේ සිදු කෙරෙන සොරකම් නතර කිරීමට ගිහිල්ලයි මට මෙහෙම ප්‍රහාරයකට ලක්වීමට සිදු වුණේ.

අනුරාධපුර මහ නගර සභා පරිශ්‍ර භූමියේදී එහි සේවකයින්ගේ ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී සුරංගි

ආර්. සමතුංග මහත්මිය විසින් නාගරික කොමසාරිස්වරයාට සිදු කළ බව කියන ප්‍රහාරය, අපහාස කිරීම සහ සේවකයින්ට සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඇයට එරෙහිව එම නගර සභාවේ විධායක නිලාධාරීන් විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වෙත ලිපියක් භාර දී තිබේ. අනුරාධපුර මහ නගර සභාවේ නීති නිලධාරී ඩී.ප්‍රියන්ති නිශ්ශංක සහ ගණකාධිකාරී ජයණී රාජකරුණා යන මහත්මීන් විසින් ඉකුත් දිනෙක නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති නගර සභාවේ මාසික මුදල් ස්ථාවර කමිටු රැස්වීමට අනාරාධිතව පැමිණි සුරංගි අර්. සමරතුංග මන්ත්‍රීවරිය රැස්වීම අවසානයේ විවිධ රාජකාරීමය කරුණු පිළිබඳ විවේචනය කරමින් නාගරික කොමසාරිස්වරයා වෙත සිය ඇඟිල්ල දිගු කරමින් බැන වැදී, “තෝ තවදුරටත් කොමසාරිස් පුටුවේ තියන්නේ නෑ. එළවා තමයි අතහරින්නේ” යැයි කියමින් කළහකාරි ලෙස හැසිරෙමින් සිය පාවහන් යුගල ගලවා නාගරික කොමසාරිස්වරයාට පහර දුන් බව සඳහන් කරමින් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.

සිය පෞද්ගලික වාසි ලාබ ප්‍රයෝජන අරමුණු කර ගනිමින් නගර සභාවේ සියලුම අංශවල සැරි සරමින් මන්ත්‍රීවරිය නගර සභාවේ කාර්ය මණ්ඩලයට අනිසි බලපෑම් සිදු කරන බවත් එම ලිපියෙන් අවධාරණය කොට ඇති විධායක නිලධාරින් පසුගිය කාලය තුළ ඇය විසින් සිදු කොට ඇති බව කියන විෂමාචාර ක්‍රියාවන් අටක් පිළිබදවත් එකී ලිපියේ සදහන් කොට තිබේ.

ඒ අනුව අදාල මන්ත්‍රීවරිය දිගින් දිගටම නාගරික කොමසාරිස්වරයා සහ නගර සභාවේ කාර්ය මණ්ඩලය වෙත සිදු කරන කටයුතු නිසා රාජකාරි කටයුතු සිදු කර ගෙන යාමට අපහසුවී ඇති බැවින් මහ නගර සභාවේ කාර්ය මණ්ඩල එකමුතුව වශයෙන් කරුණු කිහිපයක් යෝජනා කරන බවත් එකී ලිපියෙන් ආණ්ඩුකාරවරයාගේ දැඩි අවධානය යොමු කොට ඇත.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment