හොරකම හරියටම කරන අය අහුනොවෙන්න කරන්න දන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ

869

බැසිල්ගේ අගමැති හීනය හීනයක්ම විතරයි

රාජපක්ෂ පාලනයේ නාස්තිකාර ව්‍යාපෘති අපේ රට ණය උගුලක සිරකළා…..

19 වෙනි සංශෝධනය අපි දුක් මහන්සි වෙලා ගෙනාපු එකක්

මේ ව්‍යසනයේ හරි අඩකට වගකියන්න ඕන හිටපු ලේකම් කෙනෙක්

පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මුණ ගැසුණෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- රට පුරාම රාජපක්ෂ විරෝධයක් තියෙනව. ඔබත් රාජපක්ෂ කෙනෙක්. ඒ රාජපක්ෂලයි මේ රාජපක්ෂයි වෙනස් වෙන්නෙ කොහොමද?

පිළිතුර:- මට තියෙන්නෙ ඔරිජිනල් රාජපක්ෂ කෙනෙක්ගෙ නාමයක් එක්ක ගිරුවාපත්තුවේ හත්මුතු පරම්පරා ගාණක් තිස්සෙ ආපු නාමයක්. ඒ වගේම ඒ රාජපක්ෂලයි මගෙයි අතර තියෙන වෙනස අහසයි පොළොවයි වගේ. මේ වෙලාවෙ රාජපක්ෂලට තියෙන චෝදනා එකක්වත් මට නෑ.

ප්‍රශ්නය:- චෝදනා නැතිකමින් විතරයිද ඔබතුමා වෙනස්වෙන්නෙ…

පිළිතුර:- නම තිබුණට වෙන සබඳතාවක් නෑ. දේශපාලනික වශයෙන් හිතමිතුරො විදිහට ඇසුරු කර තියෙනව. පෞද්ගලිකව කිසිම අමනාපයක්, තරහක් නෑ. ඒක එක පරම්පරාවක්. අපි වෙන පරම්පරාවක් ගිරුවාපත්තුවෙ.

ප්‍රශ්නය:- රට ඇතුළෙ තියෙන අරගලය ප්‍රධාන සටන් පාඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, අගමැති මහින්ද රාජපක්ෂත් අයින් වෙන්න කියන එක. ඒ අතරේ අගමැති රාජපක්ෂ ගිහින් එන්නෙ තවත් රාජපක්ෂ කෙනෙක් කියලත් කනින් කොනින් ඇහෙනව. එතනදි ඔබතුමාගෙ නමත් ඇහෙනව…

පිළිතුර:- මටත් එහෙම මාධ්‍යයෙන් ඇහිල තියෙනව.

ප්‍රශ්නය:- ඔබතුමා හිතනවද මේ අවස්ථාවෙ එහෙම අගමැති තනතුර ලැබුණොත් රටට යමක් කරන්න පුළුවන් වෙයි කියල…

පිළිතුර:- ඒක ලැබුණොත් බලමු. ඒ ගැන දැන්ම අනාවැකි කීම අවශ්‍ය නෑනෙ. රට වෙනුවෙන් අපේ දැනුම හැටියට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනව. ඒත් අපේ රටේ ඉහළ පාලක පැලැන්තිය රට වෙනුවෙන් යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක්ට එවැනි අවස්ථාවක් දෙන්න හරි බයයි. ඒකත් එක හේතුවක් අපේ රට කඩාවැටෙන්න. කොහොම වුණත් අපිට අවස්ථාවක් ලබානොදීම ගැන මට පුද්ගලිකව පාඩුවක් නෑ. අපිට අපේ වැඩ කරගෙන ඉන්න කාලය තියෙනව. හැබැයි ඒකෙ පාඩුව මහජනතාවට.

ප්‍රශ්නය:- දැන් රට බංකොලොත් බවට පත්වෙලා ඉවරයි. පසුගිය දවසක මුදල් ඇමැතිතුමා කිව්ව ඩොලර් සංචිතය බිංදුවයි කියල. රටේ හෙට දවස බොහොම අවිනිශ්චිතයි. කවුද මේ තත්ත්වයට වගකියන්න ඕන.

මේ අර්බුදයෙ කොටසක් ඔබතුමන්ලත් වගඋත්තරකරුවො කියල තමයි කියන්නේ…

පිළිතුර:- 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ කිසිම රාජ්‍ය තන්ත්‍රයක් විසින් නොකරන ආකාරයේ අධි පොලි වාණිජ අනුපාතයට වැඩකට නැති නාස්තිකාර ව්‍යාපෘතිවලට ණය අරගෙන මේ රට දැඩි ණය උගුලක හිරකළා. ඒ තුළ භූ දේශපාලනිකව චීනය තුළ අපි හිරකාරයෙක් බවට පත්වුණා. ඒ නිසා ලෝකයේ අනෙකුත් හිත මිත්‍ර රාජ්‍යයන් අපෙන් ඈත් වුණා. ඊළඟ කාරණය අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ල හම්බන්තොට වරාය චීන රජයට ලබාදීමේ හේතුවක් විදිහට අපට හිතවත් සියලු රාජ්‍යයන් අපෙන් ඈත්වුණා. තුන්වැනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු මුල් අවස්ථාවෙම බදු ප්‍රතිපත්තිය වෙනස්වීම තුළ රජයට ලැබෙන්න ඕන ආදායම බිලියන 600 සිට 700 දක්වා අහිමි වුණා. අපේ රටේ ජාතික ආදායමෙන් 60%ක් වැයවෙන්නෙ රාජ්‍ය සේවයේ වැටුප්වලටයි, විශ්‍රාමික වැටුප් ගෙවන්නයි. ඒ නිසා බදු සහන ඉල්ලපු ඒවා නෙමෙයි. මේ අවුරුදු දෙකහමාර ඇතුළත ඒ අහිමි වුණු බදු ප්‍රමාණය හරියට ගණනය කළොත් ඩොලර් බිලියන 10කට හෝ ඊට ආසන්නයි. අපි අද ලෝකය පුරා යන්නෙ ඩොලර් බිලියන 2ක් 3ක් සොයාගන්න. අර අහිමි වුණු ඩොලර් බිලියන 10 තිබුණ නම් අප ඩොලරය රුපියල් 200 හෝ ඒ ආසන්නයේ තියාගන්න තිබුණ. කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකයේ කොඳු නාරටිය කඩා දැම්ම. වරාය නගර සංකල්පය ගෙනල්ල අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරල අපිව චීනයේ යටත්විජිත කොලනියක් බවට පත් කළා. ඒකෙන් අපේ රටට එන්න තිබුණු වෙනත් ආයෝජකයන් අහිමි කරගත්ත. ඒ සියල්ල අස්සෙ රාජපක්ෂ පාලනය දූෂිතයි, කොමිස් ගහනව කියල විශාල රාවයක් ලොව පුරා පැතිරිල තියෙනව. ඒ නිසා ලෝකයේ රටවල් අපිට උදව් කරන්නෙ නෑ. මේ දූෂිත පාලකයො ඉන්නකම් රටට ඩොලර් එවන්නෙ නෑ කියල විදෙස්ගත ශ්‍රමිකයො හිතාගෙන ඉන්නව. ඒ නිසා අපේ රටේ ආර්ථිකය කඩා වැටිල.

ප්‍රශ්නය:- ඇත්තටම මේ රටපුරා ජනතාව කියන්නෙ හොරකම් කරපු මුදල් නැවත දෙන්න කියල. ඒවා අය කරගන්න කියල. එහෙම මුදල් හොරකම් කරල තියෙනව නම් ඒව ආපහු පවරා ගැනීමට නීතිමය හැකියාවක් තියෙනවද?

පිළිතුර:- හොරකම් හරියට කරන්න දන්න අය කරපු හොරකම් හොයන්න හරි අමාරුයි. හොරකම් කරන්න නොදන්න අය කරන ඒවා තමයි අහුවෙන්නෙ. ලෝකයේ ඉන්න සුදු කරපටි හොරු කියන ජාතිය අල්ලන්න හරි අමාරුයිනෙ. 2015ත් ඔය වංචා දූෂණ හොයන්න අපි ලොකු උත්සාහයක් දැරුව. මහා බ්‍රිතාන්‍යයෙන් තියෙනව බරපතළ වංචා දූෂණ සොයන සමාගමක්. ඒකට කොන්ත්‍රාත්තුවක් දීල මේ රටේ හොරාකාපු ධනය හොයල දෙන්න කියල මම උත්සාහ කළා වගේම ඒ අය ගෙනත් අපේ නීති අංශයේ අයට පුහුණුවක් ලබාදෙන්නත් කටයුතු කළා. හැබැයි යම් හේතූන් මත එවක පාලන තන්ත්‍රය ඒවා ඉදිරියට ගෙන ගියේ නෑ.

දැන් ඔය චෝදනා එල්ල වන අය දේශීය සහ විදේශීය වශයෙන් වෙනත් පුද්ගලයන් නමින් සමාගම්වල ආයෝජනය කරල තියෙන්නෙ. ඒ ගැන අපිට සෑහෙන්න විශ්වාස කරන්න පුළුවන් සාධක තියෙනව. නමුත් නීතියේදි හැම දේම අකුරටම ඔප්පු කරන්න ඕන. මම විශ්වාස කරනව ඉදිරියෙදි පත්වන පාලන තන්ත්‍රය කුමක් වුවත් අවංක වුවමනාවක් තියෙනව නම් යම් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. හැබැයි සියලු දේ හොයාගන්නව කියන එක නම් කිසිසේත් කියන්න බෑ.

ප්‍රශ්නය:- රටේ තියෙන නීතිවල තියෙන සිදුරුවලින් මේ හොරු පැනල යන බව තමයි ජනතාව කියන්නෙ. ඇයි බැරි අපට හොරුන්ට රිංගන්න බැරි සිදුරු නැති දැලක් දාන්න…

පිළිතුර:- අපි ඒක 19 වැනි සංශෝධනයෙන් කළා. අපි 19 වැනි සංශෝධනයෙන් විගණන කොමිෂන් සභාවක් හැදුව. 20න් ඒක වහල

ගෙදර යැව්ව. ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් අපි හැදුව. 20න් ඒකත් වහල ගෙදර යැව්ව. හොරකම සහ දූෂණය වළක්වන්න තිබුණු යාන්ත්‍රණ සියල්ල 20 වැනි සංශෝධනයෙන් ඉවත් කළේ ඇයි කියල දැන් තේරෙනවනෙ.

ප්‍රශ්නය:- ඒත් ඒ 20 වැනි සංශෝධනයට ඔබතුමත් අත උස්සල අනුමත කළා. දැන් මේ විදිහට 20 හොඳ නෑ කියන්න සදාචාරාත්මක අයිතියක් ඔබතුමන්ට තියෙනවද?

පිළිතුර:- 19 වැනි සංශෝධනය අපි දුක් මහන්සිවෙලා ගෙනාපු එකක්. අපි 47 දෙනෙක් විතර හිටපු ආණ්ඩුවකින් කරපු ලොකු වැඩක්. ඒක රිවස් කරද්දි අපිට ලොකු වේදනාවක් තිබුණ. 20 වැනි සංශෝධනයට මම යෝජනා 10ක් දුන්න. අඩුම තරමේ ඒ ටිකවත් කරන්න කියල. ඉන් යම් යම් දේවලට එකඟ වුණාට හුඟක් දේවල් කරගන්න බැරිවුණා. ජනාධිපතිතුමා අපට පොරොන්දුවක් දුන්න අවුරුද්දක් යන්න කලින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අපි කරපු ඉල්ලීම් ඉටුකරනව කියල. ඒක එක හේතුවක් 20ට පක්ෂව ඡන්දය දෙන්න.

ඒ වගේම තව හේතු කීපයක් තිබුණ. එකක් මම අලුතෙන්ම පොදුජන පෙරමුණට එකතුවෙලා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලනකොට සභානායකටත් වැඩිය ඡන්දය මට ලැබුණ. ඒක 1,21,000කට ආසන්න ප්‍රමාණයක්. ජනතාව මට ඒ තරම් මනාප වුණේ මගේ දේශපාලන ක්‍රියාවලිය ගැන තිබ්බ විශ්වාසය නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තය පොරොන්දු වුණා මේ පවුල්වාදය තුරන් කරල උගතුන් වියතුන් ලවා මෙරට ගෙනයනව කියල. දෙවනුව එතුමා පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කලින් එතුමගෙ ක්‍රියාකලාපය ගැන අපේ හිතේ විශ්වාසයක් සතුටක් තිබුණ. ඊළඟට මගේ ඡන්ද දායකයින්ගේ තිබුණු යෝජනාව තමයි මෙතුමා හොඳින් ආණ්ඩුවක් කරන්න යම් ආරම්භයක් අරන් ඉන්න වෙලාවෙ මම ඒකට විරුද්ධ වුණොත් ආණ්ඩුව ආරම්භයේදී ඒක කඩාකප්පල් කිරීමක් මම කළා කියල චෝදනාවක් එන්න පුළුවන් කියල. ඒ නිසා එහෙම කරන්න එපා කියන ඉල්ලීම තිබුණ. මම 20ට දෙනවදෝ නොදෙනවදෝ කියන දෙගිඩියාවෙන් ඉදිද්දි බැසිල් රාජපක්ෂ මුදලට හෝ වෙනයම් ක්‍රමයකට මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් අරගත්ත. ඒ නිසා මම ඡන්දය නොදුන්නත් 20 සම්මතයි. එහෙම වුණොත් මම තනිවෙනව. එතකෙට ඔවුන්ට අවශ්‍ය නම් මගේ මන්ත්‍රී ධුරයත් අහෝසි කරන්න පුළුවන්කම තිබුණ. මට ඒ වෙලාවෙ මන්ත්‍රී ධුරය අහිමි කර ගැනීමේ අවශ්‍යතාවක් තිබුණෙ නෑ. ජනතාව අපි කෙරෙහි දැඩි විශ්වාසයකින් හිටියෙ. ඒ නිසා මම හිතාගත්ත සුදුසු අවස්ථාවෙ මගෙ අවිය අමෝරනව කියල. 20 ගෙනල්ල සතියක් යද්දි මම කිව්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු දෙකකින් තමන්ගෙ කාර්ය ධුරය කොටකරගන්න යන්නෙ කියල. මම ඒ අනාවැකිය කිව්ව මහින්ද රාජපක්ෂ මහත්තයට 18 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවෙ අවුරුදු හයක ගමන අවුරුදු හතරකට කොට කරගන්නයි යන්නෙ කියල. ඒකත් වුණා. මේකත් ඒ විදිහට වුණා.

ප්‍රශ්නය:- 20ට අත උස්සල කරපු වරද නිවැරැදි කරගන්න දැන් අවස්ථාවක් නැද්ද?

පිළිතුර:- ඒ සඳහා මා 21 වැනි සංශෝධනය ඉදිරිපත් කරල තියෙනව.

ප්‍රශ්නය:- මොනවද ඒහි අන්තර්ගතය … එහි ඉදිරිය මේ වෙද්දි කෙසේද?

පිළිතුර:- 19 නොතිබුණු සාධනීය ලක්ෂණයත් මම ඒකට ඇතුළත් කරල තියෙනව. මම ඒ ගැන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිතුමා ඒකට එකඟතාව පළ කළා. මම අගමැතිතුමත් එක්කත් කතා කළා. එතුමත් ඒකට එකඟතාව පළ කළා. ආණ්ඩුවෙනුත් ඒ හා සමාන යෝජනාවක් ගේනව කිව්ව. අපිට මේක ගෙන ඒමේ නම්බුනාම, ගෞරව කිසිවක් ඕන නෑ. ආණ්ඩුව හෝ කවුරු හරි ඒක කරන්න. අපි ඒක සම්මත කරගන්න සහයෝගය දෙනව කියල එතුමට දැනුම් දුන්න.

ප්‍රශ්නය:- ජනාධිපතිතුමා ඔබතුමා ගෙන එන යෝජනාවන්ට කැමැති වෙනව. හිතෙන්නෙ නැද්ද 20 එතුමාගෙ අවශ්‍යතා වෙනුවෙන් නෙමෙයි ගෙන ආවෙ කියල…

පිළිතුර:- මම මුල ඉඳලම කිව්වනෙ බැසිල් රාජපක්ෂගෙ අවශ්‍යතාව වෙනුවෙන් තමයි 20 ගෙනාවෙ. 20 හරහා ජනාධිපතිතුමා විනාශ වුණා, ඒ හරහා රට විනාශ වුණා. විශේෂයෙන් පළමු සතියෙම මම කිව්ව ඇයි මේ හොරු රංචුව ඔබතුමා ළංකරගන්නෙ කියල.

ප්‍රශ්නය:- කවුද හොරු රංචුව…

පිළිතුර:- පී. බී. ජයසුන්දර, බදු ක්‍රමය වෙනස් කරල ආදායම් අඩුකරගන්න පැහැදිලිවම උපදෙස් දුන්නෙ පී. බී. ජයසුන්දර. රසායනික පොහොර ගෙන්වීම නවත්වල විදේශ විනිමය ඉතිරි කරගනිමු කියල ප්‍රධාන වශයෙන් උපදෙස් දුන්නෙත් පී.බී. ජයසුන්දර. පී. බී. ජයසුන්දර කියන්නෙ 2007 මගේ කෝප් වාර්තාව අනුව කෝටි 30000කට අධික රාජ්‍ය වත්කම් මංකොල්ලකෑම්, හොරකම් කිරීම්, විකිණීම් සම්බන්ධව වැරැදිකරු කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීල එළියට දාපු මනුස්සයෙක්. ජනාධිපතිතුමා ඒ වගේ අය ළංකර ගනිද්දි අපි දැනගත්ත අවුරුද්දක්වත් හරියට යා ගන්න බෑ කියල. ජනාධිතිතුමාට මේ දේවල් කිව්වම කියපු දේ තමයි නිවැරැදි මිනිසුන්ට අපහාස කරන්න එපා කියල. දැන් තේරෙනවනෙ වෙලා තියෙන දේ.

රට වෙනුවෙන් දේශපාලනය කරද්දි කවුරු වුණත් හොරා නම් හොර කියන්න බය වෙන්න හොඳ නෑ. තමන්ගෙ සහෝදරය වුණත් හොරා නම් හොරා කියන්න බයවෙන්න හොඳ නෑ.

ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂව උගුලක ද මේ දාල තියෙන්නේ…

පිළිතුර:- බැසිල් රාජපක්ෂ ගැන මේ රටේ මිනිස්සු දන්නව හරි අඩුයි. මම හිතන්නෙ මම විතර දන්න කෙනෙක් නෑ. 1978 ඔහු මුල් වරට අපේ ආසනයෙන් ඡන්දය ඉල්ලුව මුල්කිරිගලට. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඡන්ද 6000 ගාණකින් පරාද වුණා. 1980 ඔහු ගියා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගාවට. එතුමා ඔහුට සුළු තනතුරක් දුන්න ගාමිණි දිසානායක මහත්තයට හඳුන්වල දීල. 1981 අතුරු මැතිවරණය එද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළේ නිරූපමා රාජපක්ෂ. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ලොකු තාත්තගෙ දුව. එතකොට බැසිල් රාජපක්ෂ එකඟ වුණා ජේ. ආර්. ජයවර්ධනත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ආනන්ද කුලරත්නගේ ඡන්ද නියෝජිතය බවට පත්වෙන්න. මහින්ද රාජපක්ෂගේ දේශපාලනය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව මුලින්ම ගත්තෙ 1981 බැසිල් රාජපක්ෂ. එදා රාජපක්ෂල පරාජයට පත්කරල ආනන්ද කුලරත්න මහත්තයව ජයග්‍රහණය කෙරෙව්ව. ආනන්ද කුලරත්න මහත්තයටත් ඒක කරුමයක් වුණා බැසිල් රාජපක්ෂ ඡන්ද නියෝජිතය විදිහට මිද්දෙණිය රැස්වීමෙදි නිරූපමා රාජපක්ෂ මහත්මියට කරපු ඉතා පහත් ම්ලේච්ඡ තුච්ඡ අපහාස නිසා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්න ඒ අපහාස නිසා තමයි නැත්නම් බැසිල් රාජපක්ෂ නිසා තමයි නිරූපමා රාජපක්ෂ පරාජය වුණේ කියල.

ඒ නිසා ඒ ඡන්දය අහෝසි කරල, තව අතුරු මැතිවරණයක් තිබ්බ. ඒ 1983දි. ඒකට රාජපක්ෂ ඇතුළෙන්ම දාගත්ත චමල් රාජපක්ෂ මහත්තය දාගත්ත නිරූපමා රාජපක්ෂ මහත්මියව කපල. ඒ ඡන්දයට එද්දි ආනන්ද කුලරත්නත් එක්ක චමල්ට එරෙහිව මැතිවරණ ව්‍යාපාරයේ. ඒ තමයි පළමුවෙනි අවස්ථාව රාජපක්ෂලගෙ දේශපාලන විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව බැසිල් ලබාගත්ත.

දෙවැනි කොන්ත්‍රාත්තුව. 2014 දි අපි දන්නව මහින්ද රාජපක්ෂ මහත්තයටවත් වෙන කිසිම ඇමැතිවරයෙක්ට හෝ මන්ත්‍රීවරයෙක්ටවත් එතුමට තව අවුරුදු දෙකක් තියෙද්දි අවුරුදු හතරකින් ජනාධිපතිවරණයක් තියන්න වුවමනාවක් තිබුණෙ නෑ. කාගෙ වුවමනාවකටද ගියේ….? බැසිල් රාජපක්ෂ තමයි බල කළේ මහින්ද රාජපක්ෂට අපි අවුරුදු හතර ඉවරවුණ ගමන් ඡන්දයකට යමු කියල. අපි ඒක දැනගෙන හිටපු නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හංගගෙන සූදානම් කරගෙන හිටියෙ. අපි දන්නව බැසිල් මේ මෝඩකම කරනව කියල. අන්තිමේදි අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දාල මහින්ද රාජපක්ෂව ගෙදර යැව්ව. එදා මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපතිවරණයෙන් දිනුව නම් බැසිල් රාජපක්ෂ සැලසුම් කරල තිබුණෙ එයාගෙ හෙංචයියො ටික දාගෙන මහ මැතිවරණයකින් පස්සෙ අගමැතිවෙන්න. තමන්ගෙ අගමැති හීනය වෙනුවෙන් එහෙමයි එදා බැසිල් රාජපක්ෂ මහින්ද මහත්තයගෙ දේශපාලනය විනාශ කළේ.

දැන් යන්නෙ ඒ නාට්‍යයේ තුන්වැනි කොටස. මේ සැරේ ලංකාවට ආවෙ මහින්ද රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි දෙන්නම ඉවර කරල මේ රටේ ජනාධිපතිකම ගන්න.

ප්‍රශ්නය:- මේ ටෙලි නාටකයෙ හතරවැනි කොටසෙදි මොකද වෙන්නේ…

පිළිතුර:- මේ ටෙලිඩ්‍රාම එකේ හතරවැනි කොටසක් නෑ. බැසිල් රාජපක්ෂගෙ අගමැති හීනය සිහින ලෝකයටම සීමා කරනව. ජනතාව ඒකට ඉඩ තියන්නෙ නෑ. මට කරන්න තියෙන්නෙ රටේ ජනතාව දැනුවත් කරන්න විතරයි. ඊට පස්සෙ ගම්වලට ගියොත් කොහු මිටිවලින් තමයි එයාට කන්න වෙන්නෙ.

ප්‍රශ්නය:- රාජපක්ෂ දේශපාලන කතාව මෙතනින් අවසන්ද?

පිළිතුර:- අවසන් වෙන්න ඕන.

ප්‍රශ්නය:- විජේදාස රාජපක්ෂ උඩට එන්න පුළුවන්…

පිළිතුර:- ඒ මැදමුලනෙ නෙමෙයිනෙ. ඒ නිසා පටලවා ගන්න එපා.

ප්‍රශ්නය:- මේ අර්බුදය හමුවෙ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය හරිද?

පිළිතුර:- මීට පෙර අපේ රට අරගල කෙරුවෙ, විප්ලව කෙරුවෙ නිර්ධන පන්තිය. මේක පටන්ගත්තෙ මධ්‍යම පාන්තිකයො සහ උගතුන්. අද ඒකට සාධාරණ විදිහට ධනය උපයන ව්‍යාපාරික පැලැන්තියක් එකතුවෙලා තියෙනව. ඒක නිසා මේක තරුණයන්ට විතරක් සීමාවෙලා නෑ.

ගෝඨා ගෝ හෝම් කියන්න ජනතාවට අයිතියක් තියෙනව. මොකද පරමාධිපත්‍ය බලය තියෙන්නෙ ජනතාවට නිසා. ජනතාවට එහෙම කියන්න පදනමකුත් තියෙනව. ගත්ත තීන්දු කිසිම දෙයක් හරි නෑ. හැබැයි ව්‍යවස්ථාදායකයෙ සාමාජිකයො විදිහට අපිට කටයුතු කරන්න පුළුවන් ආණඩුක්‍රම ව්‍යවස්ථා සංදර්භය ඇතුළෙ විතරයි. ඒ නිසා අපි ගෝඨා ගෝ හෝම් කියනව නම් අපි ගේන්න ඕන දෝෂාභියෝගයක්. අපි ඒ ගෝල්ෆේස් ගිහින් කළා කියල වැඩක් නෑ. මේ වෙලාව රට වැටිල තියෙන අගාධයත් එක්ක බැලුවාම මේ වෙලාවෙ දෝෂාභියෝග ගෙනල්ල තර්ක කර කර අධිකරණයට ගිහින් මාස ගණන් කාලෙ කන්න වෙනව. ඒකට ඕන මූලික පදනම මම ඉදිරිපත් කළේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක්. දැන් 51ක් දෙනාගේ ස්වාධීන කණ්ඩායමේ ඉල්ලීම බවට ඒක පත්වෙලා තියෙනව. විපක්ෂයේ ක්‍රියාකාරීත්වය මේ වෙලාවෙ තම තමන්ගෙ බලය රැක ගැනීම ප්‍රමුඛවෙලා තියෙන බව පේනව. ඒක ඵලදායී නෑ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment