හොරණ ඉදි වෙන්නේ බන්දුල වර්ණපුර ක්‍රීඩාංගණයද?

773

මෙපුර ක්‍රිකට් පිටිය වර්ණවත් කළ බන්දුල වර්ණපුර මහතාගේ අධීක්ෂණය මත ඉදිවූ අවසන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් මේ වනවිට නිමාවීමට ආසන්නය. ඔහු මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ රැස් කළේ ද බන්දුල වර්ණපුරයෝම වෙති. පන්දුව පළමුවෙන්ම ජාත්‍යන්තර තරගයකදී හතරේ සීමාවට යැව්වේද ඔහුය. ඒ නිසා ඒ නම ඓතිහාසිකය. මකා දැමිය නොහැක. එහෙත් උපන්නොත් කෙනකුට උරුම මරණය වර්ණපුරයන්ද සොයා පැමිණියේය. ඒ 2021 ඔක්තෝම්බර් 18 වැනිදා ය.

මේ කියන්න යන්නේ ද වර්ණපුරයන් හා බද්ධ කතාවකි. ඔහුගේ ක්‍රිකට් කතාව තුළ නොයෙක් ක්‍රීඩාංගණ ඔහු නිරීක්ෂණය කරන්නට ඇත. ඒවාට මුල් ගල් තබන්නටද යන්නට ඇත. එහෙත් ඕනෑම කෙනකුට එවැනි පළමු සිදුවීමක් මෙන්ම අවසන් සිදු වීමත් යම් සන්ධිස්ථානයකි. වර්ණපුරයන්ගේ දෙපා පහස ලබමින් ඔහු විසින් අධීක්ෂණය කරන ලද, ඔහු විසින් මූලාරම්භය සනිටුහන් කරන ලද අවසන් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ හොරණ ඉංගිරිය මාර්ගයේය.

ජනාකීර්ණ බවින් තොර එම ප්‍රදේශය ගැමි සුවඳ විහිදුවයි. හොරණ සිට ඉංගිරිය දෙසට ගමන් කරන විට පෝරුවදණ්ඩ හන්දිය පසුවී මද දුරක් පැමිණ බොරලුගොඩ හන්දියෙන් දකුණට හැරී ගමන් කළ විට එම ක්‍රීඩාංගණය හමුවේ. සොබාදම් මාතාව අඩුවකින් තොරව දායාද කරන ලද වෘක්ෂලතාවලින් පිරි මනරම් පරිසරයක් මධ්‍යයේ පිහිටි එම ක්‍රීඩාංගණය දැන් හොරණ පුරවයටම තේජස විහිදුවන්නට මෙන් සූදානම් වෙමින් සිටී. එහෙත් එම ක්‍රීඩාංගණය ඉදිව තිබෙන භූමිය මීට වසර කීපයකට උඩදී කටු පඳුරුවලින් ගහන ඔබේ දෙපා එරෙන මඩ වගුරකි. ක්‍රීඩාංගණයක් ඉදිකිරීම තබා එවැනි දෙයක් පිළිබඳව හිතන්නටවත් බැරි භූමියක් ලෙස එකල දිස් වූ එම භූමි භාගය තවත් නොබෝ දිනකින් මෙරට පාසල් ළමුන්ගේ සිට දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් මනදොල පුරවන පාරාදීසයක් වනු ඇත.

මහා වනයක් මැද, කඳුවලින් වටවූ වන වදුලක් ක්‍රීඩාංගණයක් බවට පත්කළ නිර්මාතෘවරයා රොෂාන් දෙහිවල නම් වේ. වෘත්තියෙන් නීතීඥයකු වුවද රොෂාන්ගේ හිත තවමත් ක්‍රිකට්වලටමය. එසේ නොවූයේ නම් මෙවැනි නිර්මාණයක් හොරණ පුරවරයට වර්ණපුර ගේ ආශිර්වාදයෙන් බිහි නොවනු ඇත. ඔහු විසින් මීට වසර කීපයකට පෙර මිලට ගත් අක්කර දාහතරක භූමි භාගය මධ්‍යයේ මෙම මනරම් ක්‍රීඩාංගණය ඉදිවෙමින් පවතී. අප එහි යන විට එම ඉදි කිරීම් අවසාන අදියරේ පැවතිණ. තවත් කළ යුතුව තිබුණේ අපේ ඇස් පනාපිට සිදු වෙමින් පැවැති පරිදි ඉතිරි තණපිඩලි ඇල්ලීම පමණි.

එම කාර්යයෙහිද එහෙට මෙහෙට දුවමින් අවශ්‍ය උපදේශ ලබා දෙමින් සිටි ක්‍රීඩාංගණයේ හිමිකරුට අප සමීපයට පැමිණීමට ඉසිඹුවක් ලැබුණි. ඔහුගේ දෑස්වල බලාපොරොත්තු පොදි බැඳ තිබේ. ඒ තව නොබෝ දිනකින් හරිත වර්ණයෙන් දිදුලන මේ ක්‍රීඩාංගණ භූමිය පිළිබඳව බව ඔහු හා කළ කතාබහේදී අපට හෙළි විය. වර්ග අඩි ලක්ෂ දෙකකින් යුත් එම ක්‍රීඩා පිටිය වටා අඩි 12ක් පමණ උසට බැඳි පවුරකි. මැයි ගස්, බට, දොඹ, මාර සහ නා ගස් ආදි වෘක්ෂයෝ ඒ මත අතු කොළ ලියලමින් වැඩෙති. ඒ පවුර මත ගමන් කරන්නන්ට දැන් “වෝකින් පාත්” ය.

“මේ ග්‍රවුන්ඩ් එක වටේ කොන්ද කෙළින් කරන් නිදහසේ ඇවිදන් යන්නට දැන් වෝකින් පාත් තිබුණට එදා අපි මෙතැනට ආවේ කොන්ද නවාගෙන. ඒ තරම්ම වන වදුලක් තිබුණේ. කටුපඳුරු අකුල් හැම තැනම පැතිරිලා. ඒ මදිවට සත්තු සර්පයොත් අඩුවක් නැතුව හිටියා. ඇතුළට ආවම කිසිම දෙයක් පෙනුණෙ නැහැ.

ඒ වගේම මෙතන්ට එන්න හරිහමන් පාරක් තිබුණෙත් නැහැ. මෙතන තිබුණු වන වදුල එළි පෙහෙළි කරලා පොල් පැළ දාන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. ඒකටයි මම මේ ඉඩම ගත්තෙත්. ඒත් ටිකෙන් ටික එළි කරගෙන එනකොට මට මෙතන ලොකු ග්‍රවුන්ඩ් එකක් මැවිලා පේන්න ගත්තා. ඉස්කෝලේ යන කාලෙ ක්‍රිකට් ගහන්න කොච්චර ආසාව තිබුණත් අපේ ඒ බලාපොරොත්තු ඉටු කරන්න වුවමනා සම්පත් එකල අපේ ඉස්කෝලවල තිබුණේ නැහැ. අපි ලෙදර් බෝල් එකක් අතින් ඇල්ලුවේත් ඉස්කෝලෙන් අවුට් වෙන්න ඔන්න මෙන්න තියලා. ටර්ෆ් විකට් එකක් දැකලම තිබුණෙ නැහැ. හොරණ වගේ ගම්බද පාසල්වල ළමයි මේ පහසුකම් නොමැතිව එදා ඉඳන් අද වනතුරු මෙම ගැටලුවෙන් පීඩා විඳිනවා. පොල් දාන එක පැත්තකින් තියලා මේ ඉඩමෙ ඒ දුප්පත් අහිංසක ළමයින්ටත් ප්‍රයෝජනයක් වෙන විදිහට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවොත් කොච්චර වටිනවද කියල මගේ ඔළුවට ආවා. හුඟක් දෙනෙක් ගෙන්නලා මං ඒ ගැන කතා කළා. ඒත් හැමදෙනාම වගේ කිව්වේ මගේ හිත අධෛර්යය වන කතා. සමහරු උඹට පිස්සුද කියලා ඇහුවා. යන්න එන්න පාරක් නැතුව මේ කැලෑව අස්සේ ක්‍රිකට් ගහන්න එන්නේ කවුද කියලා ඇහුවා. ඒත් මගේ බිරිඳ වන නීතිඥ අන්ජනා දෙහිවල සහ මගේ දරුවෝ මාත් එක්ක හිටියා. අපි වැඩ පටන් ගත්තා. දැන් ග්‍රවුන්ඩ් එකක් විතරක් නොවෙයි ගමේ මිනිස්සුන්ට වාහනවලින් යන්න එන්න පුළුවන් විදිහට ගමට පාරකුත් තිබෙනවා. මේ නිසා ඒ අයගේ ඉඩකඩම්වලට පවා ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. වර්ණපුර මහත්තයා මුලින්ම මෙතනට එනකොටත් මේ ක්‍රීඩාංගණයේ කටයුතු අඩක්වත් නිම වෙලා තිබුණේ නැහැ. ඒත් එතුමා ඇවිත් මට කළ දිරිගැන්වීම මේ ක්‍රීඩාංගණය මෙච්චර ඉක්මනට සහ අලංකාරවත්ව ඉදිවීමට විශාල ශක්තියක් වුණා. වර්ණපුර මහත්තයව මට දැන හඳුන ගන්න ලැබුණේ අයිසීසී තරග තීරක රොෂාන් මහානාම මහතා මාර්ගයෙන්. මහානාම මහතා සහ මම ඉස්සර ඉඳන් හොඳ යාළුවෝ.”

හොරණ ඉදි වෙන්නේ බන්දුල වර්ණපුර ක්‍රීඩාංගණයද?
බන්දුල වර්ණපුර මහතා ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාව, රොෂාන් දෙහිවල මහතා ද ඒ අසළ වේ.

රොෂාන්ලා දෙදෙනා එකතු වී වර්ණපුර මහතාව හොරණට කැඳවූ අයුරු සිහිපත් කරමින්ම රොෂාන් දෙහිවල මහතා අප සමඟ කතාව ඇරඹුවේය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි පාස්කු නඩුව වෙනුවෙන් ද පෙනී සිටියේ නීතිඥ රොෂාන් දෙහිවල මහතාය. ඔහු අප සමග කී පරිදි මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා පස් කියුබ් තිස්දහස (30000)ක් යොදාගෙන තිබේ. මෙම ක්‍රීඩාංගණය තණ පිඩලි අල්ලා හැඩ වැඩ කරන්නට පෙර එය ක්‍රීඩකයන්ට විවෘත කිරීමක් ද සිදු විය. ඒ පසු ගිය ජනවාරි මාසයේදීය. එවර සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් 52ක් මේ “නේචර් ක්ල්බ් රිසෝර්ට්ස් ග්‍රවුන්ඩ්” වෙත පැමිණ ක්‍රීඩා කර සිය දක්ෂතා පෙන්නුම් කර තිබුණි. එහි ශූරයන්ට සම්මාන තිළිණ ප්‍රදානය කෙරුණේ ලෝක ක්‍රිකට් ශුර අර්ජුන රණතුංග මහතා අතිනි. එදා වර්ණපුරයන් මංගල ටෙස්ට් තරගයට නායකත්වය දෙන විට එහිදී මෙරට වෙනුවෙන් පළමු අර්ධ ශතකය ලැබුවේ අර්ජුන ය. ඒ නිසා බන්දුල වර්ණපුර මහතාගේ මෙන්ම අර්ජුන රණතුංග මහතාගේ ද ආශිර්වාදය ලද ක්‍රීඩාංගණයක් ලෙස මෙය සැලකිය හැක.

“අර්ජුන රණතුංග මහත්තයා මේ ක්‍රීඩාංගණය බලන්න ආවම ගොඩක් සතුටු වුණා. ඔහු පැවසුවේ කොන්ක්‍රීට් වනන්තර මැද පිහිටි කොළඹ ක්‍රීඩාංගණ එක්ක බැලුවහම මෙවැනි ක්‍රීඩාංගණ රටට විශාල සම්පතක් බවයි. එසේම එතුමා මට තව උපදේශයක්ද දුන්නා. තව ටික දවසකින් මෙතන විදෙස් රටවල ක්‍රීඩකයන්ට පුහුණු මධ්‍යස්ථානයක් වෙයි. ඒ නිසා ඔවුන්ට නවාතැන් ගැනීමට කාමර 20ක පමණ පහසුකම් සපිරි ගොඩනැඟිල්ලක් ඉදි කරන්න කිව්වා. ඒ අනුව එවැනි ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුතු ද අපි ආරම්භ කරනවා.”

අඩිය අඩිය තියා ක්‍රිකට් පිටියෙ ජය කෙහෙළි නංවන්නට බලාපොරොත්තුවෙන් සිටින අපේ අංකුර ක්‍රීඩකයන්ට මතු නොව දෙස් විදෙස් පිටිය ජයගත් වෘත්තීමය ක්‍රීඩකයන්ට ද අද පිඩැල්ලෙන් පිඩැල්ල ඉදිවෙමින් පවතින මේ ක්‍රීඩාංගණය අනාගතයේදී තෝතැන්නක් වනු ඇතැයි වර්ණපුර මහතා එදා දකින්නට ඇත. එහෙත් එම සිහිනය සැබෑ වනු දකින්නට පෙර ඔහු ජීවිතයෙන් නික්ම ගොසිනි.

ක්‍රීඩාංගණයේ හරි මැද සිට යාර 120 ක දුරක් හැම දිසාවටම එක සේ ගලා යන විශාල ක්‍රීඩාංගණයක් අප ඉදිරියේ දිස් වේ. ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එක තණ තීරුවක් නොව ටර්ෆ් තණ තීරු 5ක් එහි නිර්මාණය කර ඇත. සැහැල්ලු පන්දු ක්‍රීඩකයන්ට තවත් වෙනම කොටසකි. මේ ක්‍රීඩාංගණයට අර්ජුන රණතුංග මහතා පැමිණි දින මෙරට ක්‍රිකට් පිටියේ දක්ෂ වේග පන්දු යවන්නකු සහ පුහුණුකරු වූ අනූෂ සමරනායක මහතා ද පැමිණියේය.

ඔහු එදින පැවති ත්‍යාග ප්‍රධාන උත්සවය අමතමින් ප්‍රකාශ කර සිටියේ මේ ක්‍රීඩාංගණය නිසා හොරණ සහ ඒ අවටින් ජාතික කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවන කාලය එතරම් දුර ඈත නොවන බව තමන්ට පෙනී යන බවයි. තමන්ගේ බලාපොරොත්තුවද එයම බව රොෂාන් දෙහිවල මහතා අප සමග පැවසීය. එකල තමන්ට ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නොමැති වීමේ අඩුව අදටත් දකිනා රොෂාන් මහතා කීවේ අනාගතයේදී හොරණ දරුවන්ට එම අඩුව දැනෙන්නට නොදෙන බවයි.

“මේ ක්‍රීඩාංගණය හැදීමේ ප්‍රධාන බලාපොරොත්තුවත් එයයි. හොරණ අවට කොහේවත් ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ටර්ෆ් තණ තීරුවක් නැහැ. ඒ වගේම මෙම ක්‍රීඩාංගණය සහ තණතීරුව ඉදිකිරීමේදී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාංගණයක තණතීරු නිර්මාණය කරන්නකුගේද සහයෝගය මං ලබා ගත්තා. පාසල් ළමුන්ට මෙම ක්‍රීඩාංගණයේ තරග කිරීම සඳහා සහනදායි ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඒ වගේම ක්‍රීඩාංගණය සමීපයේ බෝට්ටු සවාරි පහසුකම්ද මං ඇති කරලා තිබෙනවා. ඒ වගේම මම මෙම
ක්‍රීඩාංගණයට පිහිනුම් තටාකයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ආයෝජකයෙක් අවශ්‍යයි. මං මේ ක්‍රීඩාංගණය ඉදි කරන්න පටන් ගත්තෙ 2020 -04-04 වැනිදා. දැනට හරියටම අවුරුදු තුනක් වෙනවා. නීතිඥ වෘත්තියේද නියැළෙන ගමන් තමයි මම මේ කටයුතු කරන්නේ. වර්ණපුර මහතා සිහි කිරීම වෙනුවෙන් මේ ක්‍රීඩාංගණය බන්දුල වර්ණපුර ක්‍රීඩාංගණය ලෙස නම් කිරීමටද මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු වර්ණපුර මහතාගේ ගෙදර අයත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”

රොෂාන් දෙහිවල මහතා ක්‍රීඩාංගණය දෙස උපේක්ෂා සහගත ලෙස බලමින් අප සමග කීවේය. තණ පිඩලි අල්ලමින් සිටින කම්කරුවන් පිරිස තවමත් එක එල්ලේ තම රාජකාරියේය. තව නොබෝ කලකින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් පවා ඒ බිමට සිය දෙපා තබනු ඇත.

නුවන් නිරෝෂන

advertistmentadvertistment
advertistmentadvertistment