හොරාකාපු සල්ලි ගෙනාවොත් අමුතුවෙන් බදු ගහන්න ඕනෑ නැහැ – විපක්‍ෂ නායක සජිත් කියයි

136

රජය බදු ගහනවා වෙනුවට හොරාකාපු සල්ලි ටික, හොරාකාපු ඩොලර් ටික ආපසු රටට ගෙන්වා ගත්තොත් රාජ්‍ය ආදායම වැඩි කරගත හැකි බවත්, වත්මන් ආණ්ඩුව පත්ව තියෙන්නේ හොරු අල්ලන්න නොව හොරු රකින්න බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෙළෙඳ ප්‍රජාවගේ සහ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් නුවරඑළිය අරලිය හෝටලයේදී පැවැති සාකච්ඡාවකදී විපක්‍ෂනායකවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂනායකවරයා මෙසේද පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරයා වූ හැටිය කරපු පළමු දේ තමයි කෝටිපතියන්ට, සල්ලිකාරයන්ට ප්‍රධාන වශයෙන් රුපියල් බිලියන 600 ක බදු සහන ලබාදීම. ඒ ලබාදීමෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට සියයට 12 සිට සියයට 08 දක්වා අඩු වුණා. මේක බලාගෙන හිටපු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන රටේ ශ්‍රේණිය පහළ දැම්මා. රටේ ශ්‍රේණිය පහළ දානකොට අපේ රටට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ගිහින් ණය ලබාගැනීමේ හැකියාව අහිමි වුණා. ඒ අහිමිවීම නිසා අපේ රටේ විදේශ සංචිත ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අපේ ණය වාරික ගෙවන්න වැය කළා. එයින් ඩොලර් හිඟය ඇතිවුණා. කිසිම සැලැස්මක් නැති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා රට බංකොලොත් වුණා.

වසර දෙකහමාරක් රට කාලා රට විනාශ කරලා, පවතින ආණ්ඩුව දැන් කියනවා ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට එක්වෙන්න කියලා. අද මේ තියෙන්නේ රාජපක්‍ෂ සෙවණැලි ආණ්ඩුවක්. අරගලය නිසා මුදල් ඇමැති, අගමැති, ජනාධිපති ගෙදර ගියා. රටකාපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු කණ්ඩායම එකතු වෙලා රට ආරක්‍ෂා කරන්න නෙවෙයි, ජනතාව ආරක්‍ෂා කරන්න නෙවෙයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ටික ආරක්‍ෂා කරන පුද්ගලයකු ජනාධිපති කළා.
මස්කෙළිය – ගාමිණි බණ්ඩාර ඉලන්ගන්තිලක, නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment