හොරා බසයේ දමාගිය කෝටි 4 ක මැණික් 116 ක පාර්සලය කොන්දොස්තර උස්සලා

437

දෙදෙනාම අත්අඩංගුවට – බසයේ සීසීටීවීත් පුච්චලා

විවිධ වර්ගයේ මැණික් කැට 116ක් අඩංගු පාර්සලයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ඌරුබොක්ක සහ පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඉකුත් 21 දා කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටියදී පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාර්සල් කිහිපයක් සොරකම් කර ඇති බවත්, සොරකම් කළ පාර්සල් අතර රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් කැට 116ක් බහා තිබූ පොලිතින් කවරයක් තිබී ඇති බවත් පොලිසිය කීය. එම පොලිතින් කවරය සොරාගත් පුද්ගලයා කවරය පරීක්‍ෂා කළත් එහි මැණික් ගල් තිබෙන බවක් දැක නැත. පසුව ඔහු පාර්සලය බසයේ තබා බේරුවල ප්‍රදේශයෙන් බැසගොස් ඇතැයි පොලිසිය කීය.

කොන්දොස්තරවරයා පාර්සලය රැගෙන පරීක්ෂා කිරීමේ දී එහි මැණික් ගල් තිබෙන බව දැන එය රැගෙන සිය නිවසේ අල්මාරියේ සඟවා තිබියදී සොයාගත් බවත් පොලිසිය කීය. සොරකම අසුවේ යැයි බියෙන් බසයේ ආරක්ෂක කැමරා පද්ධතිය පුළුස්සා තිබූ බව ද වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේදී බසය බේරුවල නගරයේ නතර කිරීමෙන් පසු සොරකම් සිදුකළ පළමු සැකකරු කලබලයෙන් බසයෙන් බැස පාර්සලය නොමැතිව අසල තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දිවයන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොන්දොස්තරවරයා ගැන සැක පළ කර පරීක්ෂණ සිදුකළ බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම් ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දයාසේන, සැරයන්වරුන් වන රත්නායක (37109), ගුණවර්ධන (44817), සරත් (49251), කොස්තාපල්වරුන් වන ජයලත් (69993), කුමාර (26674) සහ පො.කො.රි තාරක (15308) යන මහත්ම මහත්මීහු වැටලීමට එක්වූහ.

ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment