හොරුන්ට රජ සැප!

430

සාමාජිකයන් පත්කර නෑ: විගණන කොමිසම වැටඋඩ

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික විගණන සේවා කොමිසම යළි බලගැන්වී තිබුණත් ව්‍යවස්ථාදායක සභාව මගින් මාස දෙකක් තිස්සේ කොමිසමේ සාමාජිකයන් පත්කිරීමට අපොහොසත්ව සිටීම නිසා වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා හෙළිකළත් කිසිදු නිලධාරියකුට එරෙහිව දඬුවම් පැනවීමට නොහැකි වී ඇතැයි රජයේ විගණකාධිපති ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඉකුත් ඔක්තෝම්බර් මස 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා යළි බලගැන්වී ඇත. නමුත් තාමත් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර නොමැති බව ද විගණකාධිපතිවරයා කීය.

ජාතික විගණන සේවා කොමිසමට සාමාජිකයන් පස්දෙනෙකු ව්‍යවස්ථාදායක සභාව මගින් පත් නොකිරීම නිසා විගණකාධිපති විසින් සිදුකරන විගණන තවදුරටත් හුදු ලියැවිලි බවට පත්ව තිබෙන බව ද විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා කියා සිටී.

වසර දෙසීය දාහතක් පැරැණි රජයේ විගණන දෙපාර්තමේන්තුව එතෙක් මෙතෙක් කාලයක් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදුකරන විගණන වාර්තා සිය ගණනක් වාර්ෂිකව නිකුත් කළත් රාජ්‍ය මුදල් අවභාවිත කළ රාජ්‍ය නිලධාරීන්ට අධිභාර (Surcharges) පැනවීමට අපොහොසත් වී සිටිති.

මේ නිසා ජාතික විගණන සේවා කොමිසමට වහා සාමාජිකයින් පත්කර රාජ්‍ය මුදල් අවභාවිතා කරන නිලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණ විය හැකි ලෙස “විගණන අධිකරණ” පද්ධතියක් වහා ස්ථාපිත කරන ලෙස විගණන නිලධාරීහු රජයෙන් ඉල්ලා සිටිති.

මෙම කොමිසමේ සභාපති තනතුරට නිල බලයෙන් විගණකාධිපති පත්වන අතර තවත් සාමාජිකයින් පස්දෙනකු ඊට ඇතුළත්ය. නොමැති නම් විගණන වාර්තා කෝප් හා කෝපා කමිටුවල හා මාධ්‍යවල ප්‍රවෘත්ති බවට පමණක් පත්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි විගණන නිලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment