හොරෙන් ගෙනා ඔක්සි මීටර් 4200ක් ගුවන් තොටේදී දැලේ

65

නීතිවිරෝධී ලෙස පෙට්ටි 21ක අසුරා මෙරටට ආනයනය කර තිබූ රුපියල් විසිතුන් ලක්ෂ හතලිස් හතරදහස් හයසිය හතළිස් දෙකක් වටිනා ඔක්සි මීටර් 4,200ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තයෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී, එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (07 දා) අත්අඩංගුවට ගෙන, මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බව, රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි නිෂ්කාශන නියෝජිතයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් ව්‍යාජ ලියකියවිලි කීපයක් ඉදිරිපත් කර මෙම ඔක්සි මීටර් තොගය ශ‍්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ අංශයේ නිලධාරීන්ගෙන් නිදහස් කර ගෙන පිටව යමින් සිටියදී, එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

එහිදී සිදු කළ විමර්ශනවල දී මෙම ඔක්සි මීටර් තොගය මෙරටට ආනයනය කිරීමට ශ‍්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති බව හෙළි වී තිබේ. මෙම ඔක්සි මීටර් පිළිබඳව රේගු සටහන්කරයක් ද මොහු සතුව නොතිබුණි. එසේම මෙම ඔක්සි මීටර් තොගය සඳහා රේගුව වෙත ආනයන බදු ද ගෙවා නොතිබුණි.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගත් කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් මෙම නිෂ්කාශන නියෝජිතයා හා ඔහු විසින් නිදහස් කර ගෙන තිබූ ඔක්සි මීටර් තොගය 7 වැනිදා මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී මෙම නිෂ්කාශන නියෝජිතයා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ රේගු නිවාරණ අංශයේ නිලධාරීහු ද රේගු විමර්ශනයක් කරති.

ප‍්‍රභාත් විතාන, ගුවන්තොටුපොළ ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment