හොරෙන් ගෙනා තවත් හමර් රථ දෙකක් බඩු කන්ටේනරයකින් අල්ලයි

198

මෙරටට භාණ්ඩ ආනයනය කළ කන්ටේනරයක තිබී තවත් හමර් වර්ගයේ රථ දෙකක් සොයාගැනීමට රේගුව සමත්වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ මේ වාහනවල වටිනාකම කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා ඒවා වෙන්දේසි කිරීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේය.

මෙම හමර් රථ දෙක ඇතුළු තවත් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ සහ අපනයනයට සූදානම් කර තිබූ තවත් භාණ්ඩ රැසක් සොයාගැනීමට ද ශ්‍රී ලංකා රේගුව සමත්වී ඇත.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා රේගුවේ කළ හදිසි නිරීක්‍ෂණයකින් පසු මේ තොරතුරු අනාවරණය කළේය.

නීති විරෝධී ලෙස අපනයනයට සූදානම් කර තිබූ පිත්තල, තඹ, සහ සුදු යකඩ කන්ටේනර් හතරක්ද මෙහිදී සොයාගෙන තිබේ.

කඩදාසි ලෙස සඳහන් කරමින් අපනයනයට සූදානම් කර තිබූ මේ භාණ්ඩ රැගත් කන්ටේනර් පහ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ විවෘත කර තිබේ.

එහිදී එම කන්ටේනර්වලින් එකක පමණක් කඩදාසි තිබී ඇති අතර සෙසු කන්ටේනර් 4 තුළ අපනයනය තහනම් කළ ලැයිස්තුවේ ඇති පිත්තල, තඹ, සහ සුදු යකඩ ඇති බව රේගු නිලධාරීන්ගේ නිරීක්‍ෂණයට ලක්ව ඇත.

මෙම භාණ්ඩවල වටිනාකම කුමක් වුවත් මේ අර්බුදකාරී අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ දක්ෂතාව මත සිදුකළ මෙම සොයාගැනීම්වල වටිනාකම මිල කළ නොහැකි බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment