හොර අරක්කු ඇල්ලුවැයි සැරයන් මාරු කළ බෙලිඅත්ත ඕඅයිසීට මහනුවරට මාරුවක්

227

හොර අරක්කු ඇල්ලුවැයි පොලිස් සැරයන්වරයකුට බැණවැදී ඔහු තංගල්ල පොලිස් කොට්ඨාසයේ සිට මොනරාගල පොලිස් කොට්ඨාසයට වහාම මාරුකර යැවීම ඇතුළු සිද්ධීන් කිහිපයකට චෝදනා එල්ල වූ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කාර්ය භාරයක් නොමැතිව මහනුවර පොලිස් කොට්ඨාසයට මාරු කර යැවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

මෙලෙස ස්ථාන මාරු කර යවා ඇත්තේ තංගල්ල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඊ.එම්.අයි.බී. විජේරත්න නමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයායි.

ප්‍රදේශයේ හොර අරක්කු හා දඩමස් අලෙවි කළ පුද්ගලයකු පිළිබඳව ලද තොරතුරකට අනුව බෙලිඅත්ත පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ බෙලිඅත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් තිදෙනකු එක්ව පසුගිය දිනක වැටලීමක් සිදුකර සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ස්ථානාධිපතිවරයා විසින් මෙම වැටලීම කළ සැරයන්ට දුරකථනයෙන් කතා කර බැණ වැදී වහාම වැටලීම නවත්වා පොලිසියට එන ලෙස දන්වා තිබේ. ඒ අනුව වැටලීම නවතා පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම පොලිස් ස්ථානයට පැමිණ තිබේ. පසුව ස්ථානාධිපතිවරයා වැටලීමට ගිය පොලිස් සැරයන්වරයා ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට ගෙන්වා තදින් බැණවැදී ඇති අතර එම සිදුවීමට අදාළ හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එම හඬපටයට අනුව පොලිස් සැරයන්වරයාට බැණවදින ස්ථානාධිපතිවරයා මේක බෙලිඅත්ත බවත්, බෙලිඅත්තේ නම් බෙලිඅත්තේ විදියට සිටින ලෙසත්, පොලිස්පති ඇතුළු ඉහළින් හොර අරක්කු අල්ලන්න එපා කියා නියෝග කර ඇති බවත්, තමන් ඉහළ දේශපාලන හයියකින් මෙම ස්ථානයට පැමිණි බවත්, සහකාර පොලිස් අධිකාරිවරයකු වී මිස තමන් බෙලිඅත්තෙන් නොයන බවත් පවසයි.

මෙම හඬපටයෙන් පසු ස්ථානාධිපතිවරයා එහිදී පැවසූ ආකාරයටම සිය දේශපාලන බලය භාවිත කරමින් වැටලීමට සහභාගි වූ පොලිස් සැරයන් තංගල්ල පොලිස් කොට්ඨාසයේ සිට මොනරාගල පොලිස් කොට්ඨාසයටත්, අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයටත් මාරු කර යවා ඇත. පසුව ඊට විරෝධය දක්වමින් මොනරාගල පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කර යැවූ පොලිස් සැරයන්වරයා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

මෙම සිදුවීමත් සමග ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ බව කියන තවත් සිද්ධියක් ද කරළියට පැමිණියේය. ඒ ස්ථානාධිපතිවරයාට හිතවත් බෙලිඅත්ත ප්‍රදේශයේම මාළු ව්‍යාපාරිකයකු අසල්වැසියකු සමග බහින්බස් වීමක් ඇතිව තිබූ අවස්ථාවේ මාළු ව්‍යාපාරිකයා විසින් අසල්වැසි කාන්තාවකට වෙඩි තැබීමට ගත් උත්සාහයක් පිළිබඳවයි. මෙම සිද්ධියට අදාළ කාන්තාවන් දෙදෙනකු විසින් ඡායාරූප හා වීඩියෝ සහිතව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබියදීත් ස්ථානාධිපතිවරයා අදාළ මාළු ව්‍යාපාරිකයා සතුව තිබුණේ වායු රයිෆලයක් බව පවසමින් සත්‍ය වසන් කර අධිකරණයට කරුණු දැක්වීමයි. එම සිද්ධිය පිළිබඳව අගතියට පත් කාන්තාවන් දෙදෙනා නිතිඥයකු මාර්ගයෙන් යළි කරුණු දැක්වීමට කටයුතු කර තිබේ.

ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ද පවත්වා ඇති අතර එම පරීක්ෂණයෙන් පසු ස්ථානාධිපතිවරයා කාර්යභාරයක් නොමැති අයකු ලෙස මහනුවර පොලිස් කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර යවා තිබේ.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment