හොර චොක්ලට් තොගයක් මීගමුවෙන් අල්ලයි

191

ආනයනකරුගේ තොරතුරු නොමැති පිට රටවල නිෂ්පාදිත ලක්ෂ 50 ක පමණ වෙළෙඳපොළ වටිනාකමක් ඇති චොක්ලට් වර්ග ඇතුළු රසකැවිලි තොගයක් මීගමුව මීරිගම පාරේ පාන්කඩ හන්දිය ආසන්නයේ නිවසක ගබඩාකර තිබියදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26 දා) දින අත්අඩංගුවට ගනු ලැබීය.

ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරුකට අනුව පාරිභෝගික අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීහු මෙම වැටලීම කළහ.

භාණ්ඩ තොගය ගබඩා කර මුද්‍රා තබා සැකකරු බැඳුම්කරයක් මත මුදාහැරීමට කටයුතු කළ අතර වැඩිදුර විමර්ශන සිදුකර මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

වසර 10 ක පමණ කාලයක සිට කොළඹ ව්‍යාපාරික ස්ථානවලින් මෙම භාණ්ඩ තොග වශයෙන් මිලදී ගෙනවිත් කඩවලට බෙදාහරින බවත් තමන් ළඟ හොර බඩු නොමැති බවත් වැටලීම් කරන නිලධාරීන්ට අවශ්‍ය නම් මෙම බඩු මිලදී ගත් කොළඹ කඩ පෙන්විය හැකි බවත් සැකකරු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

මීගමුව විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment