හොර පාරෙන් ඩොලර් බිස්නස් කළ ගිණුම් 20 ක් තහනම්

827

අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ මුදල් හුවමාරු ගනුදෙනුවලට සම්බන්ධ වූ බවට හඳුනාගත් බැංකු ගිණුම් 20 කට අධික ප‍්‍රමාණයක් දැනටමත් මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (7 දා) ‘දිවයින’ට තහවුරු කළේය.

මෙයට රටේ ප‍්‍රධාන පෙළේ බැංකු කිහිපයක ගිණුම් ඇතුළත් වන බවද වාර්තා වේ.

මෙසේ විධිමත් මාර්ගවලින් බැහැරව මෙරටට විදේශ මුදල් පේ‍්‍රෂණය කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව මහ බැංකුව විසින් ඉතාම සුපිරීක්‍ෂාකාරීව සොයා බලන බවත් මහ බැංකු අධිපතිවරයා ඉකුත් සෙනසුරාදා (4 දා) පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

මෙසේ අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය හුවමාරුවට පහසුකම් සලසන සහ එම මුදල් හුවමාරු කටයුතුවලට සම්බන්ධ බවට මේ තහනමට ලක්වූ ගිණුම් හඳුනාගෙන ඇති බව ද මහ බැංකු ආරංචි මාර්ග ‘දිවයින’ට හෙළි කළේය.

පිටකොටුවේ සිටින බලයලත් විදේශ මුදල් හුවමාරු ආයතන විසින් ඇමරිකානු ඩොලර් වැඩි මිලට මිලදී ගැනීම සහ විකිණීම යන ගනුදෙනුවලට යොමුව සිටින බැවින් එම කටයුතු පරීක්‍ෂා කිරීමට ද ශී‍්‍ර ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවත් මේ ගැන මහ බැංකුව විසින් මේ දිනවල පුළුල් ලෙස සොයාබැලීම් කරන බවත් එම මහ බැංකු ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කළ රු. 203 ක නිල විනිමය අනුපාතයෙන් බැහැරව ඇමරිකානු ඩොලරයක් රු. 240 ක අධික මිලකට නිල නොවන පරිදි සිදුවන මෙම අවිධිමත් විදේශ වෙළෙඳ ගනුදෙනු වැළැක්වීමට ද මහ බැංකුව කටයුතු කරමින් සිටින බවද තවදුරටත් ‘දිවයින’ට වාර්තා වේ.

යම්කිසි පුද්ගලයෙක් යම්කිසි පෙනෙන හේතුවක් නැතුව තවත් කෙනකුගේ ගිණුමකට මුදල් දානවානම් ඒ ගැන සොයා බලන බව සහ එවැනි ගිණුම් මූල්‍ය බුද්ධි ඒකකය හරහා තහනම් කිරීමටද හැකිවන බවත් ඉකුත් සෙනසුරාදා මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment