හොර පාරෙන් මෙරටට ගෙන්වූ  කෝටි දෙකක් වටින මොන්ටෙරෝ රථයේ  අයිතිකරු සොයා පොලිස් පරීක්‍ෂණ

174

රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තල ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී අත්අඩංගුවට පත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයේ අයිතිකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග මත පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මත්තල පොලිසිය පවසයි.

මත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මත්තල අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසක සැකකටයුතු වාහනයක් සඟවා ඇති බවට මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් බණ්ඩාර මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම අධිසුඛෝපභෝගී මොන්ටෙරෝ රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පානදුර ප්‍රදේශයේ පදිංචි තමන්ට දුරින් ඥාති වන පුද්ගලයෙකු කතරගම යෑමට පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය සකස් කර රැගෙන යනතෙක් තම නිවසේ නවතා තබන බව පවසා මෙම මොන්ටෙරෝ ජීප් රථය සිය නිවසේ නවතා දමා ගිය බව පොලිස් ප්‍රශ්න කිරීමේදී වාහන නවතා තිබූ නිවෙසේ හිමිකරු පොලිසියට පවසා තිබේ.

කෙසේ නමුත් පොලිස් ප්‍රශ්න කිරීමේදී අදාළ වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාවක් තහවුරු කිරීමට නිවෙස් හිමියාද අපොහොසත් වීම නිසා අදාළ ජීෆ් රථය පොලිස් භාරයට ගෙන සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මෙම ජීෆ් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවත්, වාහනය සඳහා අදාළ ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සඟවා තබා ඇති බවත්ය. වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාව වන විට වාහනයේ පැවති ලියාපදිංචි සහතිකද ව්‍යාජව සකස් කර තිබූ එකක් බවට අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර රේගුව නිලධාරීන් හා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට එහිදී තිස්සමහාරාම මහෙස්ත්‍රාත් සමීර තුෂාර මහතා මත්තල පොලිසියට නියෝග කර තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් බංඩාර, උප පොලිස් පරීක්‍ෂක සුමනසිරි, පොලිස් කොස්තාපල් වරුන් වන (87321) බංඩාර, (100042) දිනුක යන නිලධාරීන් එක්ව වැටලීම සිදුකර තිබේ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment