හොර පාස්පෝට්වලින් ඇවිත් කටුනායක ජල්ලි ඇල්ලූ විදේශිකයන් තිදෙනා – රාජ්‍ය ඇමැතිගේ ඉල්ලීමෙන් මුදා හරී

580

කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීමට ‘රඳවා තබා ගැනීමේ කුටියක’ රඳවා සිටියදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීමකට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතාගේ උපදෙස් මත මොවුන් නිදහස් කර රටට ඇතුළු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 18 දා රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් පැය දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් හමුවට පැමිණි ඇත. එහිදී මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා අප්‍රිකාවේ ‘ගිනි’ රාජ්‍යයේ කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

මොහු ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිත කර ඇත්තේද එම ගුවන් ගමන් බලපත්‍රයයි. එහෙත් කටුනායක ගුවන්තොටුපළේදී එම ගුවන් ගමන් බලපත්‍රය එහි ජීවදත්ත පිටුව වෙනස් කර කූට ලෙස සකස් කළ එකක් බව හෙළි වීමෙන් පසු මොවුන් තිදෙනා එක්ව ගුවන්තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබේ. එහිදී ආගමන විගමන නිලධාරීන් ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර ආපසු පිටුවහල් කිරීම සඳහා එම ගුවන් සේවා රැඳවුම් කුටිය වෙත යොමු කර තිබුණි. එම අවස්ථාවේදීත් කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර මෙම ගුවන් මගීන් අල්ලස් දීමට ද තැත් කළ බවට ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා පසුගිය 20 දින අලුයම 01.00 ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නිදහස් කර තිබේ.

මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සහ එහි වැසිකිළි තුළ සැඟවී කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර මගින් ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීහු මවිතය පළ කරති.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment