හොර ලේබල් ගැහුවොත් මත්පැන් බලපත් අහෝසියි

134

සුරාබදු කොමසාරිස් ජනරාල් තදින්

ව්‍යාජ ලේබල් අලවා මත්පැන් අලෙවි කරන නිෂ්පාදකයින්ගේ බලපත්‍රය අහෝසි කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදකයින්ට ඊයේ (29 දා) දැනුම්දී ඇත.

මෙරට මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදකයින් 23 දෙනාම ඊයේ (29 දා) සුරාබදු දෙපාර්තමේන්තුවට කැඳවා මේ බව දැනුම් දුන් බව ඒ මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

ව්‍යාජ ලේබල් අලවා රටපුරා මත්පැන් බෙදාහැර ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කළත් එවැනි එකම පැමිණිල්ලක්වත් දෙපාර්තමේන්තුවට ලැබී නැතැයිද ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ගොන ගියත් දොපර්තමේන්තුව අනිවාර්ය කර ඇති ස්ටිකරය අවලංගු නොකරන බවද ඒ මහතා කීය.

රටේ මත්පැන් පරිභෝජනයේ යම් අඩුවීමක් සිදුවී ඇතත් ස්ටිකරය නිසා සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව නීති විරෝධී මත්පැන් (හොර අරක්කු) වෙළෙඳ පොළට පැමිණීම වැළකී ඇති බවත් ඒ මහතා කීය. මේ නිසා ඇතැම් මත්පැන් නිෂ්පාදකයන්ට සහ එතනෝල් ගෙන්වන පිරිසට අගතියක් සිදුවී ඇති නිසා ඔවුන් ස්ටිකරය අවලංගු කිරීමට මිලියන ගණන් වැයකර අසත්‍ය ප්‍රචාර ගෙනයන බව ඒ මහතා කීය.

මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී මත්පැන් විකුණන ස්ථාන වැටලීම සඳහා 1913 හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇති බවත් එම අංකයට ව්‍යාජ ස්ටිකර් යොදා මත්පැන් අලෙවි කර ඇති බවට කිසිම පැමිණිල්ලක් ලැබී නැති බවත් ඒ මහතා පැවසීය.

මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් 23 න් සමාගම් 04 ක (බියර් සහ අරක්කු) නිෂ්පාදන ප්‍රමාණය (පැයකට නිපදවන මත්පැන් ප්‍රමාණය) වැඩිවීම නිසා බෝතලයේ මූඩියේ ඩිජිටල් ලෙස මුද්‍රණය වීමත් අනෙකුත් සමාගම් 19 ස්ටිකරය මුඩියේ අලවා සිය නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment