හොර වැලි පර්මිට් හදන කුරුණෑගල මුද්‍රණාලය වටලයි

138

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට වැලි ප්‍රවාහනය කිරීම සඳහා ව්‍යාජ වැලි බලපත්‍ර නිකුත් කළ කුරුණෑගල මුද්‍රණාලයක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් වටලා, ව්‍යාජ බලපත්‍ර 100 ක් සමග එහි හිමිකරු ඊයේ (21 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

භූවිද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයෙන් ලද තොරතුරු අනුව වලාන දූෂණ ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයට ගොස් ව්‍යාජ බලපත්‍රවලින් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කර මුද්‍රණාලය වැටලීමට පියවර ගත්හ. එහිදී මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ඕනෑම හාඩ්වෙයාර් ආයතනයක නමින් ව්‍යාජ වැලි බලපත්‍ර සකස් කරදී රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් අයකිරීම් සිදුකර ඇති බවද හෙළි කරගෙන තිබේ.

කුරුණෑගල, දඹුල්ල පාරේ පිහිටි මෙම මුද්‍රණාලය දිස්ත්‍රික්කයේ ඉතා ජනප්‍රිය මුද්‍රණාලයක් බවත් මොහු විසින් දිවයිනේ කුමන ප්‍රදේශවල හාඩ්වෙයාර් නමින් ව්‍යාජ බලපත්‍ර නිකුත් කර ඇති ද යන්න සෙවීමට විමර්ශන ආරම්භ කර ඇති බවත් නිලධාරීහු කියති.

වලාන දූෂණ ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරුන් වන බණ්ඩාරනායක, ප්‍රේමලාල්, පොලිස් සැරයන් (42520) ජයරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (31868) රාජගුරු, (77090) බාලසූරිය, (91111) ජයමහ, (90452) ලෝගනාදන්, භූවිද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයේ සුරක්‍ෂිතතා අංශයේ නිලධාරි බුද්ධික ශිල්පරත්න යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment