හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්‍ෂ ගණනක් වෙළෙඳපොළේ – මන්ත්‍රී බුද්ධික පතිරණ

150

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර සහිත මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් වෙළෙඳපොළේ පවතින බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (24දා) පැවසීය. මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ මත්පැන් නිෂ්පාදකයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින් පිරිසක් මෙම ජාවාරම පිටුපස සිටින බවයි. මෙම ජාවාරම තුළින් රජයට විශාල බදු මුදලක් අහිමි වන බවද මන්ත්‍රීවරයා කියා සිටී. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මෙම කරුණු සඳහන් කළේ ඊයේ (24දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කරනවා කියන්නේ හොර සල්ලි අච්චු ගහනවා වගේ අපරාධයක්. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉන්න ඉතාමත් සුළු පිරිසක් තමයි මේක මෙහෙය වන්නේ. මේ වනවිට මෙම කේතයන් පාවිච්චි කිරීම ජනතාවට නුහුරු දෙයක් නෙමෙයි. මේ ස්ටිකරයේ තිබෙන කේතය සාමාන්‍ය දුරකථනයකින් වැඩ කරන්නේ නෑ. ඒ නිසා වෙළෙඳපොළේ තිබෙන ව්‍යාජ ස්ටිකර් සහ ඇත්ත ඒවා අඳුනාගන්න බෑ. සුරාබදු නිලධාරීන් තමයි මත්පැන් නිෂ්පාදකයන්ට මෙම ව්‍යාජ ස්ටිකර් සපයන්නේ. මේ නිසා මේ වනවිට ලක්‍ෂ ගණනක් ව්‍යාජ ස්ටිකර් වෙළෙඳපොළට ඇවිත් තිබෙනවා. අපි මුල ඉඳලම කිව්වා මෙම ස්ටිකර් මුද්‍රණය කරන සමාගම වංචාකාරි සමාගමක් කියලා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් කොටසක් මෙහෙම වංචා කරද්දි තවත් කිහිප දෙනෙක් තමන්ගේ පුටු රැකගන්න අරගල කරමින් ඉන්නවා. මේ තුළින් රටට විශාල බද්දක් අහිමි වනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment