හොර ස්ටිකර් සොයා රට පුරාම සුරාබදු වැටලීම්

141

ව්‍යාජ ස්ටිකර් අලවා දිවයින පුරා මත්පැන් අලෙවිකරන බවට ලද තොරතුරු මත සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් කටයුතු ආරම්භ කර ඇත.

මේ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (ආදායම්/මෙහෙයුම්) කපිල කුමාරසිංහ මහතා පැවසීය.

තඹුත්තේගම, තලාව, ගොළුබෑව සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පිහිටි මත්පැන්හල්වල අලෙවියට තබා තිබූ ආරක්‍ෂිත ස්ටිකර් නොවන ව්‍යාජ ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ද කුමාරසිංහ මහතා කීය.

ප්‍රමිතියෙන් තොර මත්පැන් අලෙවිය සහ නීත්‍යනුකූලව බදු අයකර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් නිසා ස්ටිකරය හඳුන්වා දුන් බව පැවසූ කුමාරසිංහ මහතා 2023 වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ක් ඉක්මවීමට සැලසුම් කර ඇති බව ද කීය. ව්‍යාජ ස්ටිකර් වැනි ජාවාරම් නිසා සුරාබදු ආදායමට ගැටලු මතුවිය හැකි බවත් එය වැළැක්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයකට සහභාගි වෙමින් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ලංකාවේ මත්පැන් මත ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය සඳහා තෝරාගත් සමාගම ලොව දූෂිතම සමාගමක් බවයි. එම ඉන්දියානු සමාගම ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධ වංචා සහ අක්‍රමිකතා චෝදනා ලබා රටවල් ගණනාවක අසාදු ගත සමාගමක් බවද ප්‍රකාශ කරනු ලැබුවා.

එම සමාගම රජයට ස්ටිකර් කෝටියක් ලබාදෙන විට තවත් ස්ටිකර් කෝටි දෙකක් නීති විරෝධීව පුද්ගලික අංශයට ලබාදෙන බවට රාජපක්ෂ මහතා චෝදනා කළේය. මේ නිසා රජයට වසරකට රුපියල් බිලියන 60ක් පමණ අහිමි වන බවද ඒ මහතා පැවසීය.

මත්පැන්වල අලවා ඇති ස්ටිකරයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ෑඞක්‍ෂීෑ ඕඞ ීඕඵඡ ඪ්ඛෂෘ්ඔධඍ යන මෙම ජංගම දුරකතනයට බාගත කර ආරක්ෂිත ස්ටිකරයේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීමට හැකි අතර ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ තොරතුරු 1913 අංකය අමතා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැක.
චමින්ද සිල්වා, ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment