ළමා කවියේ කුමරතුඟු ලකුණ

1102

මාර්තු මස 02 වැනිදා යෙදුන කුමාරතුංග මුණිදාසයන්ගේ 75 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

කුමරතුඟු මුනිදසුන් හෙවත් කුමාරතුංග මුනිදාස නමින් අප කතාකරනුයේ සාකල්‍යයෙන්ම අනුපමේය චරිතයකි. එතුමා අසාමාන්‍ය පඬිරුවනකි. විශේෂයෙන් කුමරතුඟවන්ගේ භාෂා ශාස්ත්‍රීය සේවාව, ගුරු භූමිකාව සර්වකාලීනව බුහුමන් ලැබිය යුතුවා සේම, අධ්‍යාපන ක්‍ෂේත්‍රය වර්ණවත් කළා වූ ගුරුතුමෙකු ලෙස හැඳින්වීම ද උචිතය. මාතෘ භාෂාවත් ‘අපේකමත්’ බටහිර පාළකයින්ගේ පලාබෙදිල්ලකට ගොදුරුවෙමින් පැවති අවධියක කුමරතුඟුවන්ගේ සම්ප්‍රාප්තිය ඇත්ත වශයෙන්ම මාතෘ භාෂාවට උදාවූ වසන්තයක් ලෙසින් හැඳින්වීම නිවැරැදිය.

සිංහල භාෂාවත් සාහිත්‍යයත් සිංහලයන්ටම අමතක වෙමින් පැවති අවධියක භාෂාවේ අනන්‍යතාවය හඳුන්වාදීම සඳහා හඬක් නැඟූ කුමරතුඟුවන්ගේ අගය පිළිබඳ කතා කිරීමට බොහෝ කරුණු කාරණා තිබේ.

ළමා කවියේ කුමරතුඟු ලකුණ

මෙම ලිපියේ අරමුණ විශාල පරාසයක විවිධ මානයන් ඔස්සේ ගලාගිය එතුමාගේ ‘නිර්මාණ අතරින් ළමා සාහිත්‍යය වර්ණවත් කළ නිබන්ධන සහ සාහිත්‍ය කෘති පිළිබඳ කතා කිරීම පමණයි.

කුමරතුඟුවන්ගේ ආදර්ශමත් ගුරු භූමිකාව ගැන පුනරාවලෝකනයේදී එතුමන් විසින් දැයේ මහඟු සම්පත වන ළමා පරපුර වෙනුවෙන් මුදාහළ කාව්‍ය නිර්මාණ කෘති ,ගණනාවක්ම අපේ මතකයෙහි ජීවය ලබයි. රටක අනාගතය කෙරෙහි සෘජුවත් වක්‍රවත් බලපානු ලබන වටිනාම සම්පත වනුයේ එම රටේ ළමා පරපුරයි. ළමා පරපුර නිසි මඟට යොමුකිරීමේ භාරදූර කර්තව්‍යයේදී පෙරමුණ ගත යුත්තේ මවුවරුන් පියවරුන් සහ ගුරුවරුන්ය.

එම අරමුණ ඇතිව අපේ කුමරතුඟුවෝ ද නව නිර්මාණ කුසලතාවය මෙහෙයවා අගනා ළමා කෘති ගණනාවක් නිර්මාණය කොට දරුවන් අතට පත් කළහ.

‘අකුරු මහිමය’ කුමරතුඟුවන් නිර්මාණය කළේ දරුවන්ගේ හද ගැස්ම, සිතුම් පැතුම් සහ රසාස්වාදන ශක්තීන්ද මැනවින් හඳුනාගෙන සිටි බැවිනි.

පොරණ පඬින් කළ පත් පොත්
නුවන ලැබෙයි කියැවුව හොත්
නොදැතැ අකුරු කියවනු තැත්
අකුරු තමා නුවණ දොතොත්

ළමා කවියේ කුමරතුඟු ලකුණ
  • අකුරු මහිමය

ළමයින් සඳහා සාහිත්‍යයක් පෝෂණය කිරීම වැඩිහිටියන් සඳහා නිර්මාණ කරණය කිරීමට වඩා අපහසු කාර්යයකි. හේතුව එම කාර්යේදී ළමයින්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ ලෝකය පිළිබඳ මනා වැටහීමක් නිර්මාණකරුට තිබිය යුතු හෙයිනි. කුමාරතුංගයෝ ඒ බව දැන සිටිමින් ළමා සාහිත්‍ය වෙනුවෙන් තම නිර්මාණ මුදා හළහ.

එතුමාගේ ‘මල් බස්’ සහ “හාවා ගිය මඟ” ඒ බව පැහැදිලි කර ගැනීමට ඇති කාව්‍ය නිර්මාණ දෙකකි.

ගස අග නා
අර රඳ නා
මලට ම නා
බොහොම හිනා

ගත වතු සුදු
වී පිරි සිදු
පොහොය නැතදු
සිල්ගත් බඳු

නැණ ගුණ දම්
රුව පැහැ තුම්
ඇති අය නම්
රෝස කුසුම්

  • මල් බස්

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගහ ගාවා
වට පිට ඇහැ ලෑවා

කොළ දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා
ඉතින් ඇතැයි කීවා

  • හාවා ගිය මග

කුමාරතුංග මුනිදාසයන් තම නිර්මාණ කරණයේදී පරිසරයට දැක්වූයේ කෙබඳු ආදරයක්ද දර්ශනයක්ද යන්න පිළිබඳව කතිකාවතක යෙදෙන විට අපට පැහැදිලි වන වැදගත්ම කාරණයක් වන්නේ එතුමාගේ පරිසරවේදිත්වයයි. හීන්සැරය, මඟුල්කෑම වැනි ප්‍රබන්ධත් දොරට වැඩුම නැළවිල්ල වැනි කවි පන්තීනුත් උදාහරණ වේ.

තොටිල්ල සැම සුව පිරී
පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී
නිදැන්න පුත රන්කිරී

සඳපානේ වැලිතලා
සුර කුමරියො මල් සලා
නටති මෙලෙස බල බලා
ගිගිරි වළලු පය නොලා

  • නැළවිල්ල

කුමරතුඟුවන් තම නිර්මාණ චාරිකාවේ නිරත වුණේ ළමයින් විභාගකරණය කිරීමේ පටු චේනාවෙන් නොව, ඔවුන්ගේ අධ්‍යාත්මය සැරසීමේ අරමුණින් යුතුවය. ‘සිරිමත්’ කවි පෙළ නිදසුනකි.

සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි

උදයම පුබුදී
මුහුණට දිය දී
කුල දෙවි නමදී
ගේ දොර හමදී

  • සිරිමත්

කුමරතුඟුවන් ‘හණමිටියේ සංකල්පය” අගය කළ සාහිත්‍ය ධරයෙක් නොවේ. ඔහු තම නිපැයුම් අගය කළේය. අගය කළා පමණක් නොව, ‘අලුත් දේ’ හි ඇති වැදගත්කමත් ළමා හදවත්වලට පැහැදිලි කර දුන්නේ මේ අයුරිනි.

අලුත් අලුත් දෑ නොතනන
ජාතිය ලොව නොනගී
හිඟා කෑම බැරිවුණු තැන
ලගී ගයා මරගී”

දියුණුව කරා අධිවේගයෙන් යන ගමනක අද අපි යෙදී සිටිමු. ඔන්ලයින් පාඩම්, රූපවාහිනි දේශන, අන්තර්ජාලය, සහ දුරකථනය දැයේ දූ දරුවන්ට පහසුකම් සපයයි. කුමරතුඟු ගුණ සමරන අප විසින් සිතට ගත යුතු අවධානය යොමු කළ යුතු කරුණු කාරණාද තිබේ.

දරුවන්ට ඉගැන්විය යුත්තේ කෙසේද? ඉගැන්විය යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව වැදගත් කරුණු රැසක් එතුමා තම කාව්‍ය නිර්මාණ තුළින් පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳ කතිකාවක් කිරීම කාලෝචිතය.

කේ. ජී. සංඝදාස
ගා/වඳුරඹ මධ්‍ය විද්‍යාලයේ හිටපු ආචාර්ය

advertistmentadvertistment
advertistmentadvertistment