ළමා මන්දපෝෂණයෙනුත් ලංකාව ලෝකයේ 6ට එයි – දකුණු ආසියාවෙන් දෙවැනි තැනට

173

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වැනි ස්ථානයේ පසුවන බවත්, දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණයට මුහුණදී සිටින රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ සිටින අතර ඉන් ළමා පරපුරට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් සඳහන් කරන යුනිසෙෆ් සංවිධානය පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීම, ආහාර මිලදී ගැනීමට නොහැකි වීම සහ පවුල් රැසක් දෛනික ආහාරවේල් මගහරිමින් සිටීම මීට හේතුව බවත් ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙරට සෑම දරුවන් දෙදෙනකුගෙන් එක් අයකුට දැනටමත් යම් ආකාරයක හදිසි ආධාර ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව ද එම සංවිධානය ඉකුත් සිකුරාදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා මෙසේ පැවසීය.

රට මෙවැනි අර්බුදයක සිටින අවස්ථාවක සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව අත්පත් කරගත් දේ රැක ගැනීමට උපකාර කරන ලෙස යුනිසෙෆ් සංවිධානය විදිහට අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරනවා. අර්බුදය මැද ගෙන ඇති පියවර අතර තව අවධානය යොමුකළ යුතු තැන් තිබෙනවා. එකක් තමයි දරුවන් අතර ඇති මන්දපෝෂණයට අවධානය යොමු කිරීම. ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය අතින් 6 වැනි ස්ථානයේ සිටින්නේ. විශේෂයෙන්ම ළමුන් කෘෂ භාවයට පත්වීම සම්බන්ධයෙන්. කෘෂ භාවය ඉතා ඉක්මනින් දරුණු තත්ත්වයකට පත්විය හැකියි. ඉන් දරුවකු මරණයට පවා පත්විය හැකියි.

භාණ්ඩ මිල ඉහළ යෑම සහ පවුල්වල ආදායම අඩුවීම හරහා දරුවන්ගේ කෘෂ භාවය දරුණු තැනකට ගෙනයා හැකියි. මේ කෘෂ භාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය යුතුමයි. මම නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා අපි ශ්‍රී ලංකාවේ දරුවන් හා පවුල්වලට උදව් කළ යුතුම අවස්ථාව මෙයයි.

ප්‍රභාත විතාන

advertistmentadvertistment
advertistmentadvertistment