ළමා මන්දපෝෂණය  ඉහළ යෑම ගැන සජිත් විවාදයක් ඉල්ලයි

300

මෙරට ළමා මන්දපෝෂණය දැඩි ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) ඉල්ලීමක් කළේය.

ඊට අමතරව පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමේ කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙසේද කීය.

“මේ වන විට එළිදක්වා ඇති යුනිසෙෆ් වාර්තාවකින් ලෝකයේ මන්දපෝෂණය උච්ච රටවල් අතර 06 වැනි තැනට ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා. දකුණු ආසියාවෙන් දෙවැනි තැනට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව මේ සතිය ඇතුළත සෞඛ්‍ය ඇමැති ජාතික පෝෂණ වැඩපිළිවෙළ පිළිබඳව වගකිව යුතු පුද්ගලයා ලෙස වහාම ප්‍රකාශයක් දිය යුතුයි. දෙමාපියන් වැඩි වැඩියෙන් දරුවන් ළමා ආරක්ෂණ ආයතනවලට යොමු කරනවා. ඒ දරුවන්ට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර නෑ. ප්‍රෝටීන් සහිත ආහාර නෑ. ළමා මන්දපෝෂණය වර්ධනය වීම තුළ ළමා වර්ධනය පිළිබඳ බරපතළ ගැටලු රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. රට බංකොලොත් නිසා සහන ලබා දෙන්න බෑ කියන්න ආණ්ඩුව පුළුවන්. කැබිනට් මණ්ඩලය මේ වන විට රුපියල් ලක්ෂ 4000ක් පමණ අනුමත කරලා විවිධ නිල නිවාස තනන්න අනුමැතිය දී තිබෙනවා. මම හිතන්නේ ඒවාට පෙර මේ රටේ දරු පරපුර ගැන හිතලා වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් යන දූ දරුවන් ලක්ෂ 43කට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළා වගේ පාසල් දිවා ආහාර ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. පුළුවන්නම් ඒක අතුරු අයවැයට ඇතුළත් කරන්න. මේ යුනිසෙෆ් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයකුත් අවශ්‍යයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment